ඉංග්‍රීසී
භාෂාවෙන් “Research” යනුවෙන් හැඳින්වෙන “පර්යේෂණ” හී “Re” යන්නෙන් “නැවත” යන
අදහසත් “Search” යන්නෙන් “පරික්ෂා කිරීම” යන අදහසත් ගම්‍ය වේ. ඒ අනුව “Research”
නැතහොත් “පර්යේෂණ” යන්නෙහී වචන අර්ථය වන්නේ නැවත පරික්ෂා කිරීම යන්නයි.
මහාචාර්ය
සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රකාශ කරන්නේ “අභිමත මාතෘකාවක් හෝ විෂය පථයක් තෝරාගෙන, ඊට අදාළ දත්ත
ඒකරාශී කොටගෙන, ඒවා විශ්ලේෂණය කොට, නිගමන සහ නිරීක්ෂණ සහේතුකව පහදාදීම පර්යේෂණයක
ප්‍රධාන අරමුණ වේ” යනුවෙනි. Best සහ Khan පෙන්වා දෙන්නේ “වඩාත් විධිමත්
වූත්, ක්‍රමානුකූල වූත්, පරිශ්‍රමයකින් කරනු ලබන්නා වූත්, විද්‍යාත්මක ක්‍රමවේදයක්
ඇසුරෙන් විශ්ලේෂණයට භාජනය වන්නාවූත්, ක්‍රියාවලියක් ලෙස පර්යේෂණ කාර්යය සැලකිය
හැකිය” යන්නයි. ඒ අනුව පර්යේෂණයක ප්‍රධාන අරමුණ සහ පර්යේෂණ කාර්යය පිලිබඳ
පැහැදිලිය.
සන්නිවේදන
සහ මාධ්‍ය ක්‍රියාවලිය පිළිබඳව විද්‍යාත්මක පදනමක පිහිටා සන්නිවේදන අරමුණු
සාක්ෂාත් කරගැනීම පිණිස සිදුකරණු සිදුකරණු ලබන පර්යේෂණ සන්නිවේදන මාධ්‍ය පර්යේෂණ
නමින් හැඳින්වේ. මාධ්‍ය පර්යේෂණ සෙසු පර්යේෂණ වලින්
වෙනස් වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා පමණක් එහි උපයෝගීතාවය, සහ මාධ්‍ය ක්ෂේත්‍රයට
පමණක් එය සීමාකාරී වීම නිසායි. විවිධ මාධ්‍ය වලට විශේෂිතව එම මාධ්‍ය හී පණිවිඩ ග්‍රාහකයාට
බලපෑම් කරනු ලබන ආකාරය, සන්නිවේදන කාර්යය සිදුවන ආකාරය සහ සන්නිවේදන කාර්යය සිදුවිය
යුතු ආකාරය ආදී කරුණු මෙහිදී පර්යේෂණයට භාජනය කරනු ලබයි. සන්නිවේදන
ශබ්දාකරය තුළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පර්යේෂණ
සහ සන්නිවේදන පර්යේෂණ යන්න කුමක්දැයි පැහැදිලි කරයි. ඒ “පර්යේෂණ
යනු කිසියම් විෂයකට අයත් ශාකාවක් තෝරාගෙන එය ගැඹුරින් අධ්‍යනය කිරීමයි. ජනමාධ්‍ය
මඟින් කෙරෙන බලපෑම්, ග්‍රාහක රුචිකත්වය, සන්නිවේදන ප්‍රවණතා වැනි අතුරු ශාකා
රාශියකට යොමුවීම සන්නිවේදන පර්යේෂණ වේ” යනුවෙනි.
යුරෝපා
සමාජයේ සමාජ වෙනස්වීම් අධ්‍යයනය කිරීම පිණිස 1927 වසරේ පටන් විවිධ පර්යේෂණ කටයුතු
ආරම්භ වූ අතර එමනිසා මාධ්‍ය පර්යේෂණද පුළුල් විය. පෝල් පිලැක්ස්, විල්බර් ශ්‍රාම්,
ග්ලොරිඩා D. පෙලිසියානෝ ආදීන් එම පර්යේෂණ මෙහෙයවිය.
අධ්‍යයනයේ
පහසුව පිණිස මාධ්‍ය පර්යේෂණ අධියර වර්ගීකරණය කොට තිබේ. ඒ අනුව සෑම මාධ්‍ය පර්යේෂණයකම දැකිය
හැකි අධියර 4 කි.
- මාධ්‍ය ක්‍රියාකාරිත්වය හා මාධ්‍ය ස්වභාවය පිළිබඳ පර්යේෂණය කිරීම.
- ග්‍රාහකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පර්යේෂණය කිරීම.
- බලපෑම් පිළිබඳව පර්යේෂණය කිරීම.
- මාධ්‍ය වැඩිදියුණු කරන ආකාරය පිළිබඳ පර්යේෂණය කිරීම.
එම ප්‍රධාන අධියර හතරයි.
මාධ්‍ය ක්‍රියාකාරිත්වය සහ මාධ්‍ය ස්වභාවය පිළිබඳ පර්යේෂණය කිරීම
මෙහිදී මාධ්‍ය ආයතනය, ඒවායේ සන්නිවේදකයන්, සංදේශයන් හී
අන්තර්ගතයන්, එම මාධ්‍යයන් හී ඉලක්ක ග්‍රාහකයන් කව්රුන්ද යන්න මෙන්ම මාධ්‍ය සඳහා
කරනු ලබන වියදම් ආදී කරුණු පිළිබඳව පර්යේෂණ සිදුකෙරේ.
ග්‍රාහකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ පර්යේෂණ කිරීම
ග්‍රාහකයාගේ ප්‍රතිචාරයන් කවරාකාරද, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය
කවරාකාරද ආදී කරුණු පිලිබඳව පර්යේෂණ සිදුකරයි.
උදා - චිත්‍රපටයක් නැරඹීම සඳහා සිනමා ශාලාවට යන්නේ කව්රුන්ද?
ඔවුන්ගේ වයස් ප්‍රමාණය? ස්ත්‍රී පුරුෂභාවය
එමෙන්ම මාධ්‍ය භාවිතා කරනු ලබන ස්වභාවය, එනම් රුපවාහිනියද,
ගුවන්විදුලියද නැතහොත් නව මාධ්‍ය භාවිතා කරනවාද ආදී කරුණු පිළිබඳ පර්යේෂණ
සිදුකරයි. එමෙන්ම මෙහිදී මාධ්‍ය භාවිතා කරන්නේ කවර හේතුවක් සඳහාද මෙන්ම ඒවායෙන්
කවරාකාර ප්‍රයෝජන සහිතද ආදී කරුණු පිළිබඳවද පර්යේෂණ මෙහෙයවනු ලැබේ.
බලපෑම් පිළිබඳ කෙරෙන පර්යේෂණ
මාධ්‍ය මඟින් ග්‍රාහකයා වෙත කෙරෙන බලපෑම, එම බලපෑම හරහා වන හානිය
මෙන්ම ග්‍රාහකයයේ හැසිරීම කෙරෙහි කොතෙක් දුරට ඒවා හේතු සාධක වනවාද යනාදී කරුණු
පිළිබඳව මෙහිදී පර්යේෂණ සිදුකරණු ලැබේ.
මාධ්‍ය වැඩිදියුණු කිරීම සිදුකරන ආකාරය පිළිබඳව කෙරෙන පර්යේෂණ
මෙය තාක්ෂණික පර්යේෂණ මෙන්ම විමසා බලන පර්යේෂණ ලෙස ප්‍රධාන වර්ග
ද්විත්වයක් දැකියහැක.
මාධ්‍ය
පර්යේෂණයකදී මෙම ප්‍රධාන අධියර හතරින් එකක්වත් ඉවත්කළ නොහැක.
1973
දී පෙලිසියානෝ විසින් ආසියානු සන්නිවේදන පර්යේෂණ ප්‍රධාන කොටස් 3 කින් දක්වා තිබේ. එනම්,
- මාධ්‍ය පසු ආකෘති අධ්‍යයනය
- මාධ්‍ය පණිවිඩවල සන්නිවේදකයා සහ ග්‍රාහකයාගේ තත්ත්වය පිළිබඳ අධ්‍යයනය
- සංවර්ධනය පිළිබඳව අධ්‍යයනය
යනුවෙනි.
මාධ්‍ය
පර්යේෂණ ස්වරූප කිහිපයක් දැකිය හැක. අරමුණු සහ ඉලක්ක අනුව මාධ්‍ය පර්යේෂණ වෙළඳ සහ
මහජන මාධ්‍ය පර්යේෂණ ලෙස වර්ග කෙරේ. එමෙන්ම දත්ත ලබාගන්නා ආකාරය අනුව ගුණාත්මක
මාධ්‍ය පර්යේෂණ සහ ප්‍රමාණාත්මක මාධ්‍ය පර්යේෂණ ලෙසද වර්ගීකරණය කෙරේ. තවද ජනමාධ්‍ය
ස්වරූපය අනුව ශ්‍රාවක මාධ්‍ය පර්යේෂණ, පාඨක මාධ්‍ය පර්යේෂණ, ප්‍රේක්ෂක මාධ්‍ය
පර්යේෂණ ලෙස වර්ගීකරණය වේ.
තවද
විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවන් හිදී මාධ්‍ය පර්යේෂණ වර්ග විවිධාකාරයෙන් දක්වා
තිබේ. ජොන්සන් සහ රෝසන්ග්‍රන් එවැනි වර්ගීකරණයක් දක්වා තිබේ. එනම්, බලපෑම්
ග්‍රාහක පර්යේෂණ, සාක්ෂරතා විචාරාමය ග්‍රාහක පර්යේෂණ, පිළිගැනීම් විශ්ලේෂණ ග්‍රාහක
පර්යේෂණ, භාවිත සහ පිනවීමේ ග්‍රාහක පර්යේෂණ සහ සංස්කෘතික අධ්‍යයන ග්‍රාහක පර්යේෂණ වශයෙනි.
ස්ටුවඩ් හෝල්, රෝලන් ඛාන් සහ පර්ඩිනන් සොසියෝ මාධ්‍ය පර්යේෂණ ක්‍රමවේද හතරක් දක්වා
තිබේ. එනම් සං{dර්ථවේදී මාධ්‍ය
පර්යේෂණ ශිල්පක්‍රම, මනෝ විශ්ලේෂණවාදී, මාක්ස්වාදී සහ සමාජ විද්‍යාත්මක මාධ්‍ය
පර්යේෂණ ක්‍රමවේද වශයෙනි.
1927 න් අනතුරුව විවිධ ආකාරයෙන් පර්යේෂණ දියුණුවට පත්වූ අතර සන්නිවේදන
සහ මාධ්‍යයන්ගේ දියුණුවට සාපේක්ෂව මාධ්‍ය පර්යේෂණයන් ද දියුණුවට පත්විය. එමෙන්ම පළමු
ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය, 1950-60 කාලයේ රූපවාහිනිය සහ ප්‍රචණ්ඩත්වය මෙන්ම
රූපවාහිනිය සහ ළමයා පිළිබඳව සිදු කෙරුණු පර්යේෂණ මෙන්ම මාධ්‍ය අතර ඇති වූ දැඩි
තරඟය ආදීය මාධ්‍ය පර්යේෂණ වර්ධනය වීමට හේතුවිය.
සන්නිවේදන
පර්යේෂණවල වැදගත්කම් ලෙස ග්‍රාහකයා සහ සන්නිවේදකයා අතර සබඳතාව
පුළුල් කිරීම, ග්‍රාහකයාට සාර සන්නිවේදනයක් ලබා දීම, නව මාධ්‍ය ආයතන ආරම්භ කිරීම සඳහා, ඉලක්ක ග්‍රාහක
කණ්ඩායම් හඳුනා ගැනීම, නව වැඩසටහන් සැලසුම් කිරීමට උපකාරී
වීම, භාවිතා කළයුතු තාක්ෂණික උපක්‍රම
සැලසුම් කිරීම, එක් වැඩසටහනක් සඳහා ඇති ග්‍රාහක පිරිස
හඳුනාගැනීම පිණිස, ග්‍රාහකයාගේ කියවීමේ, ඇසීමේ, බැලීමේ සහ ඉගෙනීමේ පුරුද්ද පරික්ෂා
කිරීම සඳහා, ජනමාධ්‍ය අරමුණු සැකසීමට සහ ඒවා ඉටුකර
ගැනීමට මාධ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම පිණිස, යහපත් මාධ්‍ය
සංස්කෘතියක් බිහිකිරීම පිණිස ක්‍රියාත්මක වීම ආදී කරුණු පෙන්වා දිය හැකිය.
No comments:
Post a Comment