දරුවන් තැනීම සහ දරුවන් මැරීම
ස්වභාව
ධර්මයේ අපූර්වතම නිමැවුම් වලින් එකක් ලෙස බිහිවන්නා වූ මිනිසා උපතේදී ස්වභාවික සත්ත්වයෙකි.
මව පියා සහ පවුලේ සෙසු නෑ මිතුරු සමාජය හමුවේ එකී ස්වභාවික සත්ත්වයා සමාජීය
සත්ත්වයෙකු බවට පරිවර්තනය වීම සිදුවේ. ලොවක් සුවඳ කරමින් අද දින උපන් දරුවෙකු
අනාගතයේ මහා වෘක්ෂයක් බවට පත් වේ. එකී වෘක්ෂය ශක්තිමත් වීමට නම්, හොඳින් නිසි
කල්හි ඵල දැරීමට නම්, එයට සියල් අඩු වැඩිය සපුරාලිය යුතුමය.
මාපිය
තුරුලේ උණුසුම්ව වැඩෙන බිළිඳුන් මුල් වරට එම උණුහුමින් මදක් මිදෙන්නේ ශිල්ප
ඇහිඳින්නට පටන්ගත් දා සිටය. සමාජීය සත්ත්වයෙකු ලෙස මුලින්ම දරුවන් සමජගත වන පරිසරය
වන්නේ පෙර පාසලයි. දෙවසරක පෙර පාසල් සමය අහවරව පියමනින පාසලත් දරුවෙකුට සොඳුරු
නවාතැනක් විය යුතුමය. මන්ද සමාජානුයෝජන කාරක අතුරෙහි ප්‍රබල ස්ථානයක් වන මෙමඟින්
යහපත් දරුවෙකු තැනීමට මෙන්ම අහිංසක දරුවෙකු වැනසීමටද එක සේ හැකියාව සහිත බැවිනි.
කුඩා
කල මාපියන් දරුවන්ට කියා දෙන්නේ “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙනි. දරුවන්
දිනෙන් දින වැඩෙන්නේ, ඉක්මනට ලොකු වන්නට සිතන්නේ අන් යමක් ගැන සිහින මවමින් නොව.
පාසල පිළිබඳව සොඳුරු සිහින කන්දකුත් සමඟිනි. මා පිය කතා ගොන්නේ ඇති සොඳුරු බිම,
පාසල නම් වූ අපුර්ව නවාතැන දරුවන් දරුවන් සිය මනසින් නිරන්තරයෙන් සිතුවම් කරයි. හයක්
හතරක් නොදත් දරුවන් අනාගත ලොවට වැඩදායී මෙන්ම දැනුමෙන් හා ආකල්පයන්ගෙන් සංවර්ධිත
විශ්වීය දරුවෙකු ලෙස තැනීමේ භාරධුර කාර්යය විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන්ගේ එකම
වගකීමයි.