සේතු මන්දිර
සුපුරුදු උණුසුම හවඩියාට දැනුනේ නොවේ. ඔහු සිතට තව
තවත් දිරි ගන්නට විය. පිංචිනා දෙවැනි වරටත් ඔහුගේ සිත පිය ස්නේහයෙන් පුරවන්නට
සැරසෙමින් සිය මව කරා ගොස් දින දෙකකි. කින්නර යුවලක් වූ හවඩියාත් පිංචිනාත් බොහෝ
ආලයෙන් වෙලී කුටුම්බය රැකුමට වෙහෙසුනේ උරුමයෙන් ලද වියන කලාවෙන් නේක විසිතුරු
මවමිනි. දරුවන් වැදීමට සිරිත් පරිදි වෙහෙසුණු කින්නර බිරියන් කුස යහනට සිව්මස් එළැඹුණු
දා මව් සෙවනට යන කින්නර සිරිතට හවඩියාට හෝ පිංචිනාට එරෙහි වීමට නොහැක. පුංචා කොලු
උන්ගේ කුළුඳුල් දරු තවමත් සීතලට ගුලි වී සුවසේ නිදන්නේය. හවඩියා නැඟී සිටියේ වියූ
පැදුරු අධිකාරම් වලව්ව වෙත ගෙනයෑමට හිමිදිරියේ පිටත් විය යුතු බැවිනි. ගමනට රැයක්
පහන් වනබව හවඩියා අත්දැකීමෙන් දැන උන්නේය. මතු දෝතට වඩිනා අමුත්තා පිළිගැනීමට
ඔහුගේ සිතට අලුත් පණක් ලැබුණාක් මෙන් විය.