Friday, 5 July 2019

සේතු මන්දිර


සේතු මන්දිර






සුපුරුදු උණුසුම හවඩියාට දැනුනේ නොවේ. ඔහු සිතට තව තවත් දිරි ගන්නට විය. පිංචිනා දෙවැනි වරටත් ඔහුගේ සිත පිය ස්නේහයෙන් පුරවන්නට සැරසෙමින් සිය මව කරා ගොස් දින දෙකකි. කින්නර යුවලක් වූ හවඩියාත් පිංචිනාත් බොහෝ ආලයෙන් වෙලී කුටුම්බය රැකුමට වෙහෙසුනේ උරුමයෙන් ලද වියන කලාවෙන් නේක විසිතුරු මවමිනි. දරුවන් වැදීමට සිරිත් පරිදි වෙහෙසුණු කින්නර බිරියන් කුස යහනට සිව්මස් එළැඹුණු දා මව් සෙවනට යන කින්නර සිරිතට හවඩියාට හෝ පිංචිනාට එරෙහි වීමට නොහැක. පුංචා කොලු උන්ගේ කුළුඳුල් දරු තවමත් සීතලට ගුලි වී සුවසේ නිදන්නේය. හවඩියා නැඟී සිටියේ වියූ පැදුරු අධිකාරම් වලව්ව වෙත ගෙනයෑමට හිමිදිරියේ පිටත් විය යුතු බැවිනි. ගමනට රැයක් පහන් වනබව හවඩියා අත්දැකීමෙන් දැන උන්නේය. මතු දෝතට වඩිනා අමුත්තා පිළිගැනීමට ඔහුගේ සිතට අලුත් පණක් ලැබුණාක් මෙන් විය.


හිරිගඩු පිපෙනා සීතලේ පිටියේ දෙව් පිහිට පතා හවඩියා නිවසින් පිට වූයේ පුංචා කොලුට ලොකු අප්පෝගේ පැලට වී තමන් එන තෙක් රැඳෙන්නට උපදෙස් දෙමිනි. ළදරු විය ඉක්මවා සිටි පුංචා කොලු අනෙක් කින්නර දරුවන් මෙන්ම ජන්මයෙන් ලද උරුමය වූ වියන කලාව පුහුණු වීම අරඹා සිටියේය.

පරදෙශින් දෙකොට්ඨාශයකට යටහත් වූ සිංහල දේශය ලියවිල්ලකින් ඉංග්‍රීසින් හට පවරා දී වසරක් පිරුමට ආසන්නය. වැඩිහිටියන් කියනා පරිදි පෙර කලට වඩා යම් බුරුලක් වුවද, ඉංග්‍රීසින් පොරොන්දු කරකරමින් සිටිනා බව වටින් ගොඩින් කනවැකිනි. කින්නරුන්ට නම් කව්රුන් බලවත් වුවද සුපුරුදු හුදෙකලාව සැමදා නෑකම් කියයි. කුලවතුන්ගේ අරියාදුකම් සැමදා කුලහීනයන්ට නම් ඉර හඳ මෙනි. හවඩියාගේ ගත වෙහෙස පරයමින් සිත තව තවත් දිරි වූයෙන් හේ ඉදිරියටම ඇදෙන්නට විය. අධිකාරම් වලව්වට එතරම් දුරක් පයින්ම ගාටන්නට හවඩියා වෙහෙසුනේ අධිකාරම් හාමුදුරුවෝ තමන්ට පැවරූ රාජකාරිය අකුරටම ඉටු කිරීමට තමාටම ගිවිසගත් හෙයිනි. පසුගිය දිනක දහවල නුවර ගමනකදී තමන් වියූ විසිතුරු පැදුරු රටා දුටු අධිකාරම් නිලමේ වලව්වටත්, මාලිගාවටත් යැයි කියමින් හවඩියාට පැදුරු වියන්නට අණ කළෙන් එය දේව වැකියක් සේ ඔහුගේ සිතෙහි පැලපදියම් විය. ඔහු ඉටු කරමින් උන්නේ එකී අණයි.

බිම් කළුවර වැටීගෙන එම යාමයේ පය ඉක්මන් කළ හවඩියා රැය පහන් කරමින් ගිමන් හැරීමට සුසුසු ඉසව්වක් සොයා ඉදිරියට ඇදෙන්නට විය. සිතට මද සහනයක් වූයේ පුරුදු තැනක් නෙත ගැටුණු හෙයිනි. පින්තලියෙන් තොල කට තෙමා පිපාසය සංසිඳුවා ගනිමින් හිස එසවූ හවඩියාගේ හිසෙහි නුග මුලක් ගැටුනේ තම දරුවන් වැඳ පිදු කළ ඔවුන්ට ආශීර්වාද කරන්නට දිගුවන මාපිය දෑත් මෙනි. හවඩියා ඉහළ බැලුවේය. යෝධ නුග වෘක්ෂයෝ සිය නුගපත් සතර දෙස විහිදුවමින් ගිමන්හලට සෙවනත් සිසිලත් සලසන්නට වෙහෙසුනෝය. ඇගේ රූසිරි වැඩුමට මෙන් නුගමුල් අතු පතරින් විත් මිහිකතට තුරුළු වෙමින් තව තවත් ශක්තිමත් විය. හවඩියාගේ හිස අත ගෑ මිහිකත සොයා එමින් සිටි නුගමුල් දැක ඔහුට සිය ප්‍රියාවිය සිහිවිය. දණහිසටත් පහළට වැවී තිබුණු ඇගේ නිල්වන් කෙහෙරැලි වලට ඔහු කෙතරම් ඇලුම් කළාදැයි ඇයට මුල් වරට කිවේ පිංචිනා හවඩියාගේ පතිනිය කොට සිය පැලට කැන්දන් ආ දායි. දින ගණන්, සති ගණන් කෑ මඟුල් සිරි කින්නර රැහේ නොමැත. සියල්ල එක රැයෙන් අහවරය. ඇසිල්ලෙන් ගෙවීගිය උණුසුම් රැයෙහි ඇගේ නුරා හෑවිල්ල තනි වී සිටිනා මෙදවස හවඩියාට සිහිවූයේ ඇය නොමැති තෙවැනි රැයත් දිගු රැයක් බව සිහිගන්වමිනි.

“මයේ අහිංසකී”

හවඩියාගේ දෑස තෙත්වූයේ ඔහුටත් නොදැනීය. ඇවැස්ස නෑනා වූ පිංචිනා හා විවහා වූ දා සිට ඇය තනි කෙරුමට හවඩියාට සිත් දුන්නෙම නැත. දරු ගැබක් දරා ඉන්නා ඇය මව් පැලට ඇරලු දා ඇගේ දෙපා හොඳහැටි ඉදිමි තිබුණු යුරු හවඩියාට මතකය. ගමන් වෙහෙසින් හෙම්බත් වූ ඔහු ගිමන්හලෙහි කණ්ඩියට ගොඩ වී වටපිට බැලුවේ දකුණු පය ගසා ඇතුළට වදිමිනි.

“පිටියේ දෙයිහාමුදුරුවනේ”

දුටු දසුනින් හවඩියාගේ ඉහමොළ රත්විය. ගෙලෙහි පැළඳි රඹුක් කොට කැබැල්ල වෙත සිය දෑතම යැවුනේ නිරායාසයෙනි. හවඩියා මින්පෙර සැබවින්ම එවැනි මිනිසෙකු දැක තිබුනෙම නැත. හීන් දාඩියෙන් නෑවීගත් හෙතෙම පස්සෙන් පස්සට අඩි තබන්නට විය.

“බිය ගන්ට කාරී නෑ”

හුරු පුරුදු බසින් කළ එම ඇමතුමින් හේ මදක් නතර විය. ඇස් අදහාගත නොහැක.

“නුවරට තැපැල් මල්ලක් ඇන්න යනගමන්”

අමුතු මිනිසා නැවත හඬ අවදි කෙරිය.

“මිනි කන කාපිරි”

හවඩියාගේ සවනෙහි රැව්පිලි රැව් දුන්නේ සිය මුත්තාගේ හඬයි.

“උන් මේ රටට පය ගැහුවේ පරංගින් නිසා. පරංගින් උන්ගේ වැඩපල කරගන්ට මිනි කන කාපිරි අපේ රටට වහල්ලු විදියට ඇන්න ආවා නොවැ. යටි තොලත් විදලා මුද්දකුත් එල්ලාන ඉන්නවාලු. පැංචෙක් උපන්නම ශරීර අවයව තුවාල කොරලා ඒ තැන් වල සත්තුන්ගේ හම් කෑලි ගහනවලු”

සිය ළමාවිය මුත්තනුවන් කි කතා ඔස්සේ මවාගත් කාපිරි රුවක් ඔහු හැබැහින් දුටුවේ නුවර ගමනකදීය. ඒ නමුත් ඔහු දුරට දුටුවා මිස මෙතරම් ලඟින් දුටුවා නොවේ. එදා ඈත තියා දුටු කාපිරා හා දැන් තමන් ඉදිරියේ සිටිනා කාපිරා බොහෝ වෙනස්කම් සහිත බව හවඩියාට පසක් විය. කාල වර්ණ තැටියක් වන් පැතලි මුහුණත්, ගොරකා ගෙඩි මෙන් විශාල දෑස සහිත ඔහුගේ පහතට නේරු විශාල නාසය කැවුම් ගෙඩි දෙකකටත් වඩා විශාල යැයි හවඩියාට සිතිනි. එතරම් නොවැ කොහොමත් උස නොවූ හවඩියාට කාපිරා පෙනුණේ මහා යෝධයෙකු මෙනි.

“කාටත් ගිමන් හරින්නට ඇහැකි මේ ගිමන්හලේ මං නතර උනාට බියක් ගන්න කාරී නෑ.
මුන්නැහැ ගොඩවෙන්න”

අමුතු උරුවෙන් වුව ඔහු තමා හා සිංහලෙන් කතාබස් කිරීම නිසා හවඩියාට මද අස්වැසිල්ලක් විය.

“ම...මං මේ නුවරට පැදුරු වියාන යන ගමන්..අධිකාරම් වලව්වට..රෑ බෝවුන නිසා ගිමන් හරින්නට හිතාන නතර උනා..”

“මුන්නැහැ මගේ රූපේ දැක බියගත්තා කියලා මට තේරුම් ගියා. අලුත් ඉංග්‍රීස් ආණ්ඩුව නිසා අපි ලන්දේසි මෙහෙයෙන් නිදහස් උනා නොවැ.”

“හැබෑට”

“හ්ම්ම්ම්..තුන් මාසයක් නෑ තව..”

හවඩියා තුළ පෙර පැවති අනිසි බිය ක්‍රමයෙන් පහල ගිය අතර ඔහු කාපිරි මිනිසා හා කතාවට වැටිණි. කුසගින්න අධික වූයෙන් තනාගෙන ආ රොටි පංගුව ලිහාගත් හවඩියා කාපිරාටත් එය පෑවේය. ඒ වන විටත් රාත්‍රියට සප්පායම් වී උන් කාපිරා හවඩියාගේ රොටි සංග්‍රහය ප්‍රතික්ෂේප කළේද නොවේ.

වෙහෙසකර නමුත් බලාපොරොත්තු සහගත දිනක අවසාන හමු වූ නාඳුනන මිනිසෙකු හා හවඩියා දිගා වූයේ ගිමන්හල් කොයි කාටත් පොදු වූයෙනි. සිංහල දේශය යටපත් කොටගත් ලන්දේසිහූ ඔවුන්ගේ ගෘහනිර්මාණ ශිල්පය මෙරටට ලබා දී ගියහ. ලන්දේසි කැටයමින් ඔපවත් වූ ගිමන්හලෙහි කුළුණු අතරින් රෑ අහස නේක තරු සිතුවම් මවමින් හවඩියාගේත් කාපිරාගේත් නෙත් පැහැරගෙන තිබිණි.

“මං මුන්නැහැහේ දුටු හැටියේ බිය උනා නොවැ. මගේ සිහියට ආවේම මයේ මුත්තා මං පුංචි හන්දියේ කියාදීපු කතාන්දර.”

“ඇයි..මං තමුන්නැහැ කාවි කියලා හිතුවද?”

කාපිරා සිනාසෙන්නට විය.

“අහිතක් හිතුවට සමාවෙන්ට. අපි කින්නර රැහේ. අනෙක් ඈයොන්ගෙන් ඈත් වෙලයි වසන්නේ. වැඩි අගෑලුම් නැහැ ආයුබෝවන්ඩ.”

“කින්නර රැහේ කිව්වේ.”

“කවුදැයි ඒ නිරිඳුන්ට කල් බැන්දේ
මැණික් පාල බිසවට කල් බැන්දේ
අපේ උපත මහසම්මත සන්දේ
එරජට වැඩ කරුවන් සිටි සන්දේ”

හවඩියා ගයන්නට විය. කින්නර නම් දිව්‍යාංගනාවන් මහා සම්මත රජුගේ බෑණා කෙනෙකු හා විවහා වීමෙන් රාජ වංශයෙන් නෙරපා දැමූ බවත් ඔවුන්ගෙන් උපන් දරුවන්ගෙන් තමන් පැවත එන බවත් හවඩියා සිය ජන්මය පිළිබඳව පරපුරෙන් ලත් කතාන්දරය කාපිරා හා පැවසුවේය. කාපිරා එය අසා සිටියේ පුදුමයෙනි.

“අපේ මුතුන්මිත්තන් මේ රටට ඇවිත් දැන් වසර දෙසීයකට ආසන්නයි නොවැ. අපි අප්‍රිකානු රටවලින් මෙහි ගෙනා උදවිය. මට සිංහල කතාව හුරු උනා කුඩා සන්දියේ හිට”

කාපිරා කියන්නට විය. පෘතුගීසි පාලන සමයේදී අධික වෙහෙසට පත් ජාතියක් වූ ඔවුන් ලන්දේසීන්ගේ ආගමනයත් සමඟින් මදක් නිදහස්කාමී දිවි පෙවතකට හුරු වූ අයුරුත්, උද්දච්ච ලන්දේසි කතුන් ඔහුගේ මා පිය පරම්පරාවන් ලවා සෑම බැල මෙහෙවරක්ම පාහේ කරවාගත් අයුරුත් හේ විස්තර කරන්නට විය.

සිය මව්රටෙහි උපත ලැබ සිය නෑ සනුහරය සමඟින් වේලක් කමින් වේලක් නොකා හෝ එකටම සිටීමට හැකිනම් කුලීනයන් ඇසුරෙහි අවලාද ඇසුවද කිම. මූදු සතක් තරණය කොට නොදන්නා කතරක අසරණයන් මෙන් දුක් විඳිනා මෙවැන්නන්ගේ ගැහැට අභියස තම දුක්ගිනි පයට පෑගෙන දුහුවිලි මෙනැයි හවඩියාට සිතිනි. හවඩියා කුඩාකල සිට අසා තිබුනේ කාපිරියන්ගේ ම්ලේච්ඡත්වය පිලිබඳ පමණි. එකම අහසක් යට දිවි ගෙවන්නා වූ උනුත් තමන් මෙන්ම හැඟීම් දැනීම් සහිත සිත් පිත් ඇති මිනිසුන් නොවේදැයි හවඩියාට සිතුනේ පැදුරු මිටිය අධිකාරම් වලව්වට ගෙනගොස් දී නැවත ගම් බලා තනිවම යමින් සිටි මොහොතේයි.

“පැංචන් උපන්ගෙයිම තුවාල කරනවය කීවේ. අහිංසක පුංචි උන්ට කොච්චර රිදෙනවා ඇත්ද?”

තමා කුඩාකල අසා තිබුණු යමක් හවඩියා කාපිරාගෙන් විමසුයේ එයත් කියමනක් පමණක්ම දැයි සැකහැර දැනගනු පිණිසය. සිය පරපුරෙහි බිරින්දෑවරු දරුවන් බිහිකළ කල්හී ශරීර අවයව හී කැපුම් තුවාල සිදුකොට ජලයෙන් සෝදා දුම් අල්වා රක්ත වර්ණ ගන්වන බවත් පසුව සත්ත්ව සම කැබැල්ලක් ගසන බවත් ඔහු කිවේය. ස්වකීය දුෂ්කර දිවිපෙවත පිළිබිඹු කරනු ලබන සංකේතයක් ලෙස එසේ කරන බවත් හවඩියා දැනගත්තේය. ඔහුගේ බිරින්දෑවරු දෙදෙනාත් දරුවන් වැදූ කල එකී සිරිතට අනුගත වූ බව කාපිරා කිවේය.

හවඩියාට සිය පුතු පුංචා කොලු සිහිවිය. පුංචා කොලු පළමු වරට ගල් තලාවක ඇදවැටී තුවාල කරගත් දා හඬා වැටි අයුරුත්, නෙත් දෙක මෙන් රක්ෂා කළ දරුවා සිය ග්‍රහණයෙන් මිදි මොහොතේ වූ එම අනතුරින් සිත් පාරාගත් පිංචිනාගේ නෙත් තෙත් වූ අයුරුත්, එය තමා අපහසුවෙන් වාවාගැනුමට වෙහෙසී බව හෙතෙම සිහි කෙරීය. ළදරු විය ඉක්මවුවද තවමත් නොමැකුණු පුංචාගේ තුවාල කැළල එදවස බහ තෝරන්නට හෝ නොදත් දරුවා කෙතරම් රිදවන්නට ඇත්දැයි ඔහුට සිතිනි.

හවඩියා සිය දෑස් විසල් අහස පුරා තව තවත් යවමින් තාරුකා සිතුවම් බලන්නට විය. පිංචිනාත් ආකහේ සිතුවම් බලනවා නම් ඇයට ඔහු නොපෙනුනද, ඔහු ඇයට නොපෙනුනද මේ විසල් අහසට ඔවුන් දෙදෙනාම පෙනෙන්නේ නොවේදැයි ඔහුට සිතිනි.

ගෙරවිල්ලක් අසුනෙන් හවඩියාගේ කල්පනාව බිඳිණි. කාපිරාට නින්ද යන්නට ඇත. හොඳ හුස්මක් ගත හේ දෑස් වසා ගත්තේ හිමිදිරියේ අවදි වීමට සිතමිනි. ඔහු අවදිවත්ම කාපිරි මිනිසා සුදානම් වෙමින් සිටියේ සිය තැපැල් රාජකාරියට පිටත්වීම පිණිසය. අහම්බෙන් ගිමන්හලක මුණගැසුණු මේ මිනිසා නැවත හමුවිය හැක. හමුනොවීමටද හැකිය. ජීවිතය එලෙසිනි. අස්ථිරය. අවිනිශ්චිතය. නමුත් එම හමුව හවඩියාට මෙන්ම කාපිරාටද ජීවත්ව සිටින තෙක් සිය මතකයෙහි රැඳෙනු ඇත. හවඩියා සිය ගෙලෙහි බැඳී රඹුක් කොට කැබැල්ල කාපිරා අත තැබීය.

“ අපේ රැහේ උන් යක්කු පෙරේතයින්ගෙන් රැකෙන්න පැල් කොටන් වල රඹුක් ලී කෑල්ලක් තියාගන්නවා නොවැ. ආරක්ෂාවයි. මුන්නැහැ මේන් මේක තියාගන්නවා හොඳයි.”

කාපිරා හවඩියාගේ ඉල්ලීම පිළිගන්නට විය. දෙදෙනාගේම අරමුණ වූයේ නුවර බලා යෑමයි. කාපිරා සිය තැපැල් මල්ලත්, හවඩියා සිය පැදුරු මිටියත් හිසින් ගෙන ගිමන්හලෙන් පිටත් වන්නට විය. කතාව ගමනට දෝලාවක් විය.


තිවංකා දයානන්ද