Wednesday, 29 May 2019

නිදහසේ යන්න - වදයක් නොවන්න


නිදහසේ යන්න - වදයක් නොවන්න




සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් කාලයක් පුරා ලේබලයක් අලවාගෙන සිටින ශ්‍රී ලංකාව තුළ දෛනික ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාගැනීම පිණිස භාවිතයට ගැනෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ලෙස පොදු ප්‍රවාහන සේවය හඳුන්වා දියහැකිය. එහිදී බස් රථ සහ දුම්රිය සේවාවන් විශේෂ වේ. පර්යේෂණ මඟින් තහවුරු කොට ඇත්තේ පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් පොදු ප්‍රවාහන සේවා භාවිතය පිණිස වැඩි අවකාශයක් සහිත බවයි. ගෘහ ජිවිතයේ වැඩි වගකීම් ප්‍රමාණයක් සහිත කාන්තාවන් වඩාත් ලාබදායි ප්‍රවාහන උපක්‍රමයක් ලෙස භාවිතයට ගැනෙන පොදු ප්‍රවාහන සේවා තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවි අසමානතාවක් නිරූපණය කරණ ප්‍රධාන අවස්ථාවක් ලෙසත් ප්‍රකාශ කළ හැක. එය ස්ත්‍රීයගේ සමාජ ජීවිතය තවදුරටත් හකුළුවාලීමකි. මෙය ලංකාවට පමණක්ම පොදු ධර්මතාවයක් නොවන අතර ලොව පුරා දැකිය හැකි ප්‍රවණතාවයකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාවට අනුව කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය. කිසියම් පුද්ගලයෙකුට මානසිකව හෝ ශාරීරිකව කරන හිංසනයක් ඒ අනුව වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය කිරීමක් සේ දැක්විය හැකිය. එම ශාරීරික හෝ මානසික හිංසනය ලිංගිකමය වශයෙන් සිදුවන හිංසනයක් වියහැක. 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටසට අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම හිංසනය ලිංගික ස්වරූපයෙන් කෙරෙන පහරදීම්, සාපරාදී බලය යෙදවීම් මෙන්ම හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කිරීමට හේතුවන වචන හෝ ක්‍රියාවන් ලෙස දැක්විය හැකිය. පොදු ප්‍රවාහන මාධ්‍යන් භාවිතයට ගන්නා පුරුෂයන් ස්ත්‍රීන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව හෝ පොදු ප්‍රවාහන මාධ්‍යන් භාවිතයට ගන්නා ස්ත්‍රීන් තමා විඳිනා පිළිකුල් අත්දැකීම ප්‍රතික්ෂේප කිරීමට හා එයට විරෝධය දැක්වීම බියට පත්විය යුතු කරුණක් නොවන බව සිතන්නේ කලාතුරකිනි.



පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගන්නා ස්ත්‍රීන් බහුල වශයෙන් එය භාවිතයට ගන්නේ රැකියාව පිණිස පිටත් වීමටත්, අධ්‍යාපනය සඳහා පිටත් වීමටත් සහ වෙනත් පෞද්ගලික හේතූන් පිණිසය. මේ කවර ස්වරූපයකින් භාවිතයට ගත්තා වූවද ස්ත්‍රියට මුහුණ දෙන්නට සිදුවන හිංසනයේ වෙනසක් නොවේ. ඇතැම් විටෙක පුරුෂයන් විසින් ඔවුන්ගේ ලිංගික අවයව අනවශ්‍ය ආකාරයෙන් ස්ත්‍රීන්ගේ සිරුරු තුළ ස්පර්ශයට ලක් කරයි. එසේත් නොමැති නම් ඔවුන් සිතා මතා සිය සිරුරු මඟින් ස්ත්‍රීන් තෙරපීමට ලක් කරයි. නැතහොත් සිය ලිංගික අවයව ප්‍රදර්ශය කිරීම හෝ ස්ත්‍රී සිරුරු අනවශ්‍ය අයුරින් ස්පර්ශ කිරීමට කටයුතු කරයි. නැතහොත් පරුෂ වචනයෙන් බැන වදිනවාද විය හැකිය. මෙම ලිංගික හිංසනයන් හිතා මතා සිදුකරන, ඉල්ලීමකින් තොරව සිදුකරන හෝ බලහත්කාරයෙන් සිදුකරන හෝ ක්‍රියාවක් විය හැකිය.




පාසල් අවධියේදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ හවස් වරුවේ පුහුණුවීම් පැවති දිනකදී පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට සිදු විය. වෙහෙසත් සමඟ දිගු දුරක් ගමන් කිරීමට සිදු වූ කුඩා දැරිවියක වූ මා හට නින්ද යෑම සාමාන්‍ය කරුණක් විය. කිසියම් අසාමාන්‍ය ස්පර්ශයක් පිළිබඳ හැඟුනෙන් අවදි වීමි. මා අසළ අසුන්ගෙන සිටි මහල්ලාගේ අතක් මාගේ දණහිසට යටින් ඉහළට ගමන් ගන්නට සුදානම් බව හැඟී අත ගසාදැමූ සැනින් ඔහු මහත් කලබලයට පත්ව ඇසිල්ලෙන් බසයෙන් බැස ගියේය. දිනක් කුඩා දැරිවියක් සමඟ සිය මව බසයෙන් ගමන් ගනිමින් හිඳියදි පැමිණි අයෙක් සුළු උපකාරයක් ඉල්ලූවෙන් එය ඉටු කිරීමට මොහොතක් දැරිවිය අසලින් නැගිටගත් මව නැවත අසුනේ හිඳ ගන්නා විට දැරිවිය හඬමින් සිටියාය. බසයේ පිටුපස අසුනේ හිඳ සිටි මවට තමා ලඟම සිටි දරුවාට තත්පර කිහිපයක් තුළ සිදු වූයේ කවරක්ද යන්න පවා එකවර අවබෝධ කරගැනීම අපහසු විය. දියණියගෙන් හැඬමට හේතු කවරක්දැයි විමසූ පසු කුඩා දැරිය කියා සිටියේ අනෙක් පස උන් තරුණයා සිය ලිංගික අවයව ප්‍රදර්ශය කළ බවයි. පාසල් නිල ඇඳුමින් සැරසී සිටි කුඩා දැරිවියකට පවා කිසිඳු ආරක්ෂාවක් රහිත වූ සමාජය ඊයේයි අදයි කියා වෙනසක් ඇත්තේ නොවේ. මෙම අතවරයට ලක්වන ස්ත්‍රීන් බාල මහලු වේ යැයි වෙනසක්ද නොවේ.




බොහෝ විට මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන ස්ත්‍රීන් අනුගමනය කරනු ලබන්නේ තරමක් පසුගාමී ක්‍රියා පිළිවෙතකි. තමා අසුන්ගෙන සිටින ස්ථානයෙන් නැගී සිටීම හෝ ගමන් ගන්නා රථයෙන් බැස වෙනත් රථයක නැගී ගමනාන්තය කරා ගමන් කිරීමට ක්‍රියාත්මක වීම බොහෝදුරට දැකිය හැකි විකල්ප ද්විත්වයයි. ඉන් පරිබාහිරව ඇතැම් අවස්ථා වලදී දීර්ඝකාලීනව මෙවැනි හිංසනයන්ට ලක්වන ස්ත්‍රීන්ගේ වාසස්ථාන වෙනස් කිරීමට පවා මෙකි හිංසනයන් බරපතල වී තිබේ. මෙවැනි විකල්ප භාවිතයට පෙළඹුණද ලාංකීය සමාජය තුළ ජිවත්වන බහුතරයක් ස්ත්‍රීන් සියල්ල විඳගනිමින් නිහඬව සිටීමද දැකිය හැක. යම් අවස්ථාවකදී එකී අතවරයට ලක්වන ස්ත්‍රිය බේරාගැනීම පිණිස හඬ නැගීමට පවා අපහසු වන්නේ එහෙයිනි. අනිසි බියක් හේතුකොටගෙන ඔවුන් තමන්ව අපහසුතාවයට පත්කරන පුරුෂයන් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීම හෝ ප්‍රතික්ෂේප වන අයුරින් හැසිරීමට මැලිකමක් දක්වයි.

මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාර කිහිපයකි. එක් එක් ක්‍රමවේදයන් පැවතුනද “CARE” ක්‍රමවේදය වෙත අවධානය යොමුකිරිම වැදගත්ය. එහි අර්ථය පිලිබඳ අවදානය යොමු කිරීමේදී,

C අක්ෂරය - 
CREAT යන්න අර්ථ ගැන්වේ. එමඟින් අදහස් වන්නේ අවධානය වෙනත් දිශාවකට යොමු කරවීම පිලිබඳවයි. හිංසනයට ලක්වන පුද්ගලයාට වෙනත් ස්ථානයක් කරා යෑමට හෝ හිංසකයාගේ එකී හිංසන ක්‍රියාව අඩපන කිරීම පිණිස ක්‍රියාත්මක විය හැකිය. ඇතැම් අවස්ථාවන් හී දී හිංසකයා දෙස සෘජුව බලා සිටීම අවදානය වෙනතකට යොමු කිරීමට හේතු වනවා වියහැක. එවැනි අවස්ථාවකදී තමන් ලැජ්ජාවට පත්විය හැකිබැවින් ඔහු ඉන් ඉවත්ව ඔහු විසින්ම වෙනත් ස්ථානයකට යෑමට තීරණය කරයි. 

A අක්ෂරය - 
ASK යන්න අර්ථ ගැන්වේ. එහිදී හිංසනයට ලක්වන ස්ත්‍රියගෙන් සෘජුව උපකාර අවශ්‍යය දැයි අසා සිටිය හැක. ඇතැම් අවස්ථාවන් හිදී ස්ත්‍රීන් ලැජ්ජාව හේතු කොටගෙන උපකාර කිරීමට උත්සහ කලත් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම වුවද කළ හැක. උපකාර කිරීමට ඉදිරිපත් වන පුද්ගලයෙකුගේ උපකාර එලෙස ප්‍රතික්ෂේප කිරීම නැවත එම පුද්ගලයා එවැනි අවස්ථාවකදී තවත් ස්ත්‍රියකට උපකාර කිරීමට පෙර දෙවරක් සිතීමට තරම් හේතු වියහැක. 

R අක්ෂරය - 
REFER යන අරුත ගැන්වෙයි. එනම් මෙහිදී වගකිවයුතු පර්ශවයෙකගේ උපකාර ලබා ගැනීම පිළිබඳව දක්වයි. සරල උපක්‍රමය ලෙස බසයේ සහයකයාට මේ පිළිබඳව දන්වා උපකාර ඉල්ලා සිටිය හැක. පොදු ප්‍රවාහන සේවයක් තුළ මගීන්ගේ වගකීම ප්‍රධාන වශයෙන් රියදුරාට සහ රියදුරු සහයකට හිමිවන නිසා මෙය යම්තාක් දුරකට සාර්ථකය. ඔවුන් මඟින් ද්විතීක අදියරේදී පොලිසිය වැනි වගකිවහැකි පාර්ශවයකට දන්වා සිටීමේ හැකියාව සහිතය. ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටින්නේ මෙවැනි අවස්ථාවකදී 119 හෝ 1938 ක්ෂණික අංක අමතා ළඟම ඇති පොලිස් ස්ථානයෙන් සහය ලබාගත හැකිබවයි. එහිදී බස් රථයේ අංකය සහ මාර්ග අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම හරහා පොලිසියට වරදකරු හසුකරගැනීමට පහසු වේ. 

අක්ෂරය - 
මේ මඟින් ENLIST යන්න දක්වයි. එනම් සිදුවීමක් වලක්වාගැනීම පිණිස වෙනත් පාර්ශවයන්ගේ උපකාර ලබාගැනීමයි. හිංසනයට එරෙහිව හඬනගන පිරිස වැඩි වූ විට හිංසකයෙකුට තව දුරටත් සිය විකාරරූපී තෘප්තිය ලබාගත නොහැක. මෙම ප්‍රධාන උපක්‍රම වලින් එකක් හෝ කිහිපයක් අනුගමනය කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව තිබේ. මෙකී ප්‍රවේශයන් හරහා ස්ත්‍රියක් පොදු ප්‍රවාහන සේවයක් තුළ මුහුණ දෙන පිළිකුල්සහගත අත්දැකීම් වලින් මුදවා ගැනීමට හැකියාව ලැබේ.

පොදු ප්‍රවාහන සේවාවන් තුළ ගමන් ගන්නා මඟින් ලෙස එවැනි අවස්ථාවලදී එකී සමාජ අසාධාරණයට එරෙහිව සෘජුව නැගී සිටීමට තරම් පෞරුෂයකින් යුතු පුද්ගලයෙකු විය යුතුය. මිනිසෙකු ලෙස ජීවිතය පහසු නැත. එයිනුත් ස්ත්‍රියක් වීම ඊටත් වඩා පහසු නැත. නිවසේ සියළු කටයුතු අවසන් කොට ඇය නින්දට යා යුතුය. දවස පුරා වෙහෙස කෙසේ වුව සැමියාගේ පහස සනසාලිය යුතුය. සියල්ලටම ප්‍රථමයෙන් ඇය අවදිවිය යුතුය. දරුවන්ගේත් සැමියාගේත් සියල් අඩු වැඩිය සපුරාලිය යුතුය. බොහෝවිට රැකියාවට පිටත් විය යුතුය. නැතහොත් දරුවන් පාසල් ඇරලවිය යුතුය. එහිදී පොදු ප්‍රවාහන සේවයක් භාවිතය සුලබ වේ. බසයට හෝ දුම්රියට ගොඩවන්නේ රෝසමල් යහනක සැතපී හිඳ නොවේ. ඇතැම්විට ඇය ඔසප් වේදනාවෙන් පිඩා විඳිනවාද විය හැකිය. මේ කිසිඳු තත්ත්වයක් පිළිබඳව නොහොඹිනා පුරුෂයන්ට කිසිඳු සැලකිල්ලක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ තාවකාලික වින්දනයක් පමණි. සිය ගමනාගමනය අතරතුර විකෘතිකර තෘප්තියක් පිණිස පමණක්ම ඔවුන් වෙහෙසේ. තමන්ට මවක, සහෝදරියක, බිරිඳක හෝ  දියණියක සිටිනවා නම්, සැබවින්ම ඔවුන්ට යහපත් පුතෙකු, සහෝදරයෙකු, සැමියෙකු හෝ පියෙකු වන පුරුෂයෙකුට කිසිඳු විටෙක මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවක් සිදුකළ නොහැක. නියම පිරිමියෙකු නම් මනුෂ්‍යත්වයේ නාමයෙන් ස්ත්‍රිය යනු තවත් මනුෂ්‍යයෙක්ය යන්න අවබෝධ කොටගෙන කටයුතු කරනු ලබයි. සමාජය දුර්ගන්ධයට ලක් නොකරයි. ජෛව විද්‍යාත්මකව ලිංගිකමය වශයෙන් ස්ත්‍රියක බවට පත්වීම තව කෙනෙකුගේ හපයක් බවට පත්වීමට හේතුවක් නොවේ. ඒ අයුරුන්ම පුරුෂයෙකු බවට පත්වීම අනවශ්‍ය සමාජ බලයක් ආරෝපණය කරගැනීමටද හේතුවක් නොවේ. ඒ පිලිබඳව සියල්ලන්ම අවබෝධයට ගතයුතුය.




තිවංකා දයානන්ද