Friday, 12 April 2019

දරුවන් තැනීම සහ දරුවන් මැරීම


දරුවන් තැනීම සහ දරුවන් මැරීම 


ස්වභාව ධර්මයේ අපූර්වතම නිමැවුම් වලින් එකක් ලෙස බිහිවන්නා වූ මිනිසා උපතේදී ස්වභාවික සත්ත්වයෙකි. මව පියා සහ පවුලේ සෙසු නෑ මිතුරු සමාජය හමුවේ එකී ස්වභාවික සත්ත්වයා සමාජීය සත්ත්වයෙකු බවට පරිවර්තනය වීම සිදුවේ. ලොවක් සුවඳ කරමින් අද දින උපන් දරුවෙකු අනාගතයේ මහා වෘක්ෂයක් බවට පත් වේ. එකී වෘක්ෂය ශක්තිමත් වීමට නම්, හොඳින් නිසි කල්හි ඵල දැරීමට නම්, එයට සියල් අඩු වැඩිය සපුරාලිය යුතුමය.

මාපිය තුරුලේ උණුසුම්ව වැඩෙන බිළිඳුන් මුල් වරට එම උණුහුමින් මදක් මිදෙන්නේ ශිල්ප ඇහිඳින්නට පටන්ගත් දා සිටය. සමාජීය සත්ත්වයෙකු ලෙස මුලින්ම දරුවන් සමජගත වන පරිසරය වන්නේ පෙර පාසලයි. දෙවසරක පෙර පාසල් සමය අහවරව පියමනින පාසලත් දරුවෙකුට සොඳුරු නවාතැනක් විය යුතුමය. මන්ද සමාජානුයෝජන කාරක අතුරෙහි ප්‍රබල ස්ථානයක් වන මෙමඟින් යහපත් දරුවෙකු තැනීමට මෙන්ම අහිංසක දරුවෙකු වැනසීමටද එක සේ හැකියාව සහිත බැවිනි.





කුඩා කල මාපියන් දරුවන්ට කියා දෙන්නේ “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙනි. දරුවන් දිනෙන් දින වැඩෙන්නේ, ඉක්මනට ලොකු වන්නට සිතන්නේ අන් යමක් ගැන සිහින මවමින් නොව. පාසල පිළිබඳව සොඳුරු සිහින කන්දකුත් සමඟිනි. මා පිය කතා ගොන්නේ ඇති සොඳුරු බිම, පාසල නම් වූ අපුර්ව නවාතැන දරුවන් දරුවන් සිය මනසින් නිරන්තරයෙන් සිතුවම් කරයි. හයක් හතරක් නොදත් දරුවන් අනාගත ලොවට වැඩදායී මෙන්ම දැනුමෙන් හා ආකල්පයන්ගෙන් සංවර්ධිත විශ්වීය දරුවෙකු ලෙස තැනීමේ භාරධුර කාර්යය විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන්ගේ එකම වගකීමයි.







පාසලක් තුළ වැදගත්ම, අතිශය සැලකිලිමත් වියයුතු කවරෙකු හෝ වේ නම් ඒ දරුවන්ම පමණි. දරුවන් සමඟින් නිරන්තර ගනුදෙනුවක යෙදෙන්නේ ගුරුවරුන්මය. එහෙයින් දරුවෙකුගේ ජිවිතයේ දෙමාපියන් මෙන්ම අතිශය වැදගත් පාර්ශවයක් ලෙස ගුරුවරුන් හැඳින්විය හැකිය. බුදුන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුළ ගුරු සිසු සබඳතාව පිළිබඳව වදාලේ ද මිනිස් ජිවිතයක් කෙරෙහි ගුරු භූමිකාව කොතෙක් දුරට බලපෑම් සහගතද යන්න අවබෝධයෙනි. එහිදී පෙන්වා දෙන්නේ ගුරුවරයා සිය සිසුවා මැනවින් හික්මවමින්, තමන් දන්නා සියළු ශිල්ප සිසුවාට උගන්වමින්, සිය මිතුරන්ට සිසුවා හඳුන්වා දෙමින්, සිය සිසුවා ආරක්ෂා කරගැනීම පිණිස ක්‍රියාත්මක වියයුතු බවයි. එම යුතුකම් හා වගකීම් සම්භාරය සාර්ව කාලීනව මනා දරුවෙකු තැනීම පිණිස උපයෝගීය. සැබෑ ගුරුවරු නම් එදා සහ අද ලෙස වෙනසක් නොවේ. අතීතකාමී නොවිය යුතුය. නරකින් හොඳ වෙන්කර ගතයුතුය. දරුවෙකු දඩබ්බර වූ දා, නොහොබිනකම් කළ දා නරක සහ හොඳ හී වෙනස කවරක්දැයි පෙන්වා දෙමින් දරුවන් මැනවින් හික්මවිය යුතුය. එය තරහින් සිදුකළ යුත්තක් නොවන අතර එය බුද්ධිමත් ක්‍රියාවක් විය යුතුමය. ඒ සඳහා භාවිත ක්‍රමවේදය පිලිබඳවත් එහි සාධනීය හා නිශේධනීය ප්‍රතිඵලයන පිළිබඳවත් ගුරුවරුන්ට අවබෝධයක් පැවතිය යුතුය. ඇතැම් විටෙක එය වේවැල් කසායක් විය හැකිය. තවත් විටෙක බැනුමක් හෝ දණගැස්විමක් වියහැකිය. නමුත් මෙහිදී අවධානයට ගතයුතු වැදගත්ම කරුණ නම් එම දණ්ඩනය කිසිඳු විටෙක දරුවාගේ පෞරුෂය බිඳ දමන හෝ දරුවාට අවමන් වන ආකාරයෙන් සිදු නොවීමට ක්‍රියාකිරීමයි. එලෙස අනවශ්‍ය මර්දනයක් සිදුකළේ නම් එය දරුවෙකුගේ කොන්ද සහමුලින්ම කඩා දැමීමකි. මතු දිනෙක නිවට බයාදු මිනිසෙකු මෙන්ම, අතිශය දරුණු මිනිසෙකු නිර්මාණය කිරීම පිණිසද එය හේතු සහගත වියහැක. බොහෝ විටෙක දරුවෙකුට අධ්‍යාපනයත්, සිය පාසලත් කරදරකාරී ලෙස හැඟෙන්නටද මෙයම හේතු වියහැක. බොහෝ දක්ෂ දරුවන් පාසලට වෛර කරන්නන් බවට පත්වන්නේද මෙකි හික්මීමේ කාර්යය නිවැරදි ක්‍රමවේදයක හා සීමාවක නොපිහිටා හුදෙක් ගුරුවරයාගේ තරහව මත පමණක් ක්‍රියාත්මක වීම තුළය. පාසලට වෛර කරන්නන් නොමැති බවට යමෙකුට  තර්ක කළ හැක. නමුත් ඒ සඳහා ජීවමාන සාක්ෂිකරුවන් මටද මුණගැසී තිබේ.


ගුරුවරුන්ට පැවරෙන්නා වූ වැදගත්ම කර්තව්‍ය වන්නේ දරුවන් හට මැනවින් ඉගැන්වීමයි. ඒ සඳහා ගුරුවරුන්ගේ දැනුමද යාවත්කාලීන වියයුතුය. නිරන්තරයෙන් පොත්පත් කියවමින් දැනුමෙන් සන්නද්ධ විය යුතුය. එමෙන්ම දරුවන් යනු ගුරුවරුන් උගන්වන දෑ කුළුඳුලේ ඉගෙනීමට බලාසිටින්නන් පිරිසක් බව නිරන්තර අවබෝධයෙන් යුතු විය යුතුමය. නමුත් ඇතැම් ගුරුවරු සිතා සිටින්නේ දරුවන් යනු අමුතුම ජීවින් කොට්ඨාශයක් බවයි. ඇතැම් ගුරුවරුන්ගෙන් නොදන්නා යමක් පෙරලා ප්‍රශ්න කිරීමටද නොහැක. මා නොදත් ඇතැම් රසායන විද්‍යා ගැටළු පාසලේ රසායන විද්‍යා ගුරුතුමියගෙන් ඇසූ දා ඈ සෑම විටම කිවේ “පස්සේ බලලා කියන්නම්” කියායි. නමුත් කෙදිනක හෝ ඒ පසු දා උදාවූයේ නොවේ. සැබෑ ගුරුවරයෙකු නම් දරුවන් අසන ප්‍රශ්න උදෙසා පිළිතුරු සැපයිය යුතුය. යම් හෙයකින් එය ඒ අවස්ථාවේ අපහසු නම් හැකි ඉක්මනින් ඒ පිළිබඳ සොයාබලා දරුවන්ට කියාදිය යුතුමය. ක්ෂණිකව පලා නොගොස් සැබෑ හැඟීමෙන් යුතුව පසුව හෝ පිළිතුරු ලබාදිය යුතුය. නමුත් සෑම ගුරුවරයෙක්ම එකී වගකීම හා යුතුකම මැනවින් ඉටු කරනවාද යන්න කිව නොහැකිය.

පන්තියක සිටින සිසුන් සියල්ලන් එක සමාන මානසික මට්ටමක හෝ දැනුම් මට්ටමක නොවන බව ගුරුවරයා අවබෝධ කරගත යුතුමය. වැඩිම ප්‍රමාණයක් කටපාඩම් කරගත හැක්කා පන්තියේ පළමු වැනියා විය හැකිය. තරඟකාරී අධ්‍යාපන රටාව තුළ සැබෑ දක්ෂයා යටපත් වනවාද විය හැකිය. නමුත් දක්ෂ ගුරුවරයෙකු තුළ තමන්ගෙන් ශිල්ප ඇහිඳින්නට වන සියල්ලන්ගේම විවිධ දක්ෂතා හඳුනා ගැනීම පිණිස සුවිශේෂී වූ හැකියාවන් පවතී. ඇතැමෙකු ගණිතයට එතරම් දක්ෂ නොවූවද ගීත ගායනයට දක්ෂ විය හැකිය. ඇතැම් විටෙක එකම දරුවෙකු නටන්නට, ගයන්නට, රඟන්නට, වයන්නට මෙන්ම සිතුවමටද දක්ෂ විය හැකිය. ඒ පිලිබඳ අවබෝධය මෙන්ම පිළිගැනීමත් ගුරුවරයා තුළ පැවතිය යුතුමය. ඇතැම් ගුරුවරු තවත් ගුරුවරයෙකු සමඟ පවතින්නා වූ පෞද්ගලික ආරවුල් නිසා දක්ෂ දරුවෙකු සීමා කරනවාද විය හැකිය. වෛකල්පිත විශායක් ලෙස නැටුම් තෝරාගත් සිසුවෙකුට අධ්‍යාපන රටාවන්ට අනුගත වෙමින් සිය සිතුවම් හපන්කම් මොට කරගත යුතුද? නැත. නැටුම් විෂය තුළ අධ්‍යයන කටයුතු සිදුකරමින් එමෙන්ම සිතුවම්කරණයට ඇති හැකියාව මෙන්ම අනෙකුත් මුදු කුසලතාවයන් වර්ධනය කරගනිමින් ක්‍රියාත්මක වියයුතුය. ඊට අවශ්‍යය පසුබිම මූලිකව සකසා දියයුත්තේ පාසල තුළිනි.


පාසලක් තුළ දරුවන් අපහසුතාවයට පත්වන තවත් ප්‍රධානතම අවස්ථාවක් ලෙස මුදල් නම් සාධකය පෙන්වා දියහැක. පාසල කරා පැමිණෙන දරුවන් සියල්ලන් එකම සමාජ තත්ත්වයක් ඔස්සේ පැමිණි පිරිසක් නොව. එහෙයින් ඔවුන්ගේ ආර්ථික හැකියාවන්ද විෂමය. යම් හේතුවක් අරබයා දරුවන්ගෙන් මුදල් එකතු කරනවා නම් ඔවුන්ගේ දෙමාපියන්ට එවැනි ගෙවීමක් සිදුකළ හැකිද යන්න පිළිබඳව ගුරුවරුන්ට අවබෝධය පැවතිය යුතුය. යම් හෙයකින් එවැනි ගෙවීමකට දරුවෙකු අපොහොසත් නම් එය විමසිය යුත්තේ ඒ දරුවා අපහසුතාවයට පත්කරමින් නොව. ප්‍රසිද්ධියේ විමසීමත් වරදකි. වර්තමානය වනවිට මේ තත්ත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද එසේ සිදු නොවනවා යැයි කීමටද නොහැක.


දරුවන් යනු සියල්ලෙන් අංග සම්පුර්ණ පුද්ගල පිරිසක් නොවන බව සියල්ලන් දනි. ගුරු පුහුණුවක් සපිරූ පමණින් හෝ උපාධි සහතිකයක් ලද පමණින් කිසිවෙකු ගුරුකමට සුදුසු නොවේ. ඒ සඳහා නිසි පුහුණුවක් මෙන්ම නිසි මානසික සමබරතාවකින් යුතුවීම අත්‍යවශ්‍යය. මානසික සමබරතවයකින් යුතු ශක්තිමත් පෞරුෂයක් සහිත දරු පිරිසක් නිර්මාණය කිරීම පිණිස ගුරුවරුන් සිය කාර්යභාරය නිවැරදිව හඳුනාගනිමින් ඒ සඳහා කැපවිය යුතුය. එය හුදෙක් රැකියාවක් පමණක්ම නොවන බවත් අත්‍යවශ්‍යයෙන්ම අවබෝධ කරගත යුතුය. එවිට දහසකුත් ගුරුහොරුන් අතර සුවඳ වී හමනා තවත් දෑස දහස් ගණනින් ගුණවත් නැණවත් ගුරුවරුන් සොයාගැනීම අපහසු නොවනු ඇත. එය සමස්ත රටක අනාගතය තීරණය කරනු ඇත.

තිවංකා දයානන්ද