Wednesday, 10 April 2019

නූතන මිනිසා සොයා යන ගවේෂණාත්මක රංගනය


නූතන මිනිසා සොයා යන ගවේෂණාත්මක රංගනය

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ මහා සිහිනය “මහාසුපින”




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් පසුව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් නාට්‍ය කලාවේ නූතන හැරවුම් ලක්ෂය සනිටුහන් කළේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ය. ඒ එතුමන්ගේ ප්‍රථම වේදිකා නාට්‍ය වූ “මහසමයම” හරහායි. අන්තර් සංස්කෘතික නිර්මාණ ප්‍රවේශයක් ඔස්සේ දිගහැරුණු මහසමයම දීර්ඝකාලීන පර්යේෂණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. වසර හතරක නිහැඬියාවකින් පසුව ඇතුගලයන් නැවත වරක් ශ්‍රී ලාංකීය වේදිකාවට නව අත්දැකීමක් මුදාහරින්නේ සම්මත නාට්‍ය ආකෘතිය පුපුරුවා හරිමිනි. ඒ එතුමන්ගේ දෙවන වේදිකාගමනය “මහා සුපින” හරහායි. මේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සියපතට එතුමාගේ අදහස් දැක්වූ ආකාරයයි.





ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ නූතන හැරවුම් ලක්ෂය ඔබ සනිටුහන් කරනවා. නමුත් ඔබ සඳහන් කරන්නේ ඔබ නාට්‍යකරුවෙකු නොවන වග. ඒ ඇයි?


ඔව්. පළමු කාර්යය මම නාට්‍යකරුවෙක් විදියට මගේ ජීවිතය සකස් කරගෙන නැහැ. නාට්‍ය කියන්නේ මගේ අත්දැකීම් පරිමණ්ඩලය. එහෙමත් නැත්නම් අත්හදාබැලීමේ මණ්ඩපය. එයට හේතු තිබෙනවා. එක් හේතුවක් ලංකාවේ මම ඇසුරු කළ කලාවන් ඉතා වේගයෙන් පිරිහෙමින් යනවා. එමනිසා නිර්මාණාත්මක සහ අවංක අත්හදාබැලීම් කරමින් විඳින්න පුළුවන් කලා මාධ්‍ය ලෙස මම සලකන්නේ වේදිකාව. මම මහාසුපින කරන්නෙත් එක්තරා ආකාරයක අභියෝගාත්මක තත්ත්වයක. මෙවැනි දැවැන්ත නිර්මාණයක් කරන්න මට කොහෙන්ද අත්දැකීම් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මාගේ පාසල් අවධියේ, විශ්වවිද්‍යාල අවධියේ සහ වෙනත් ආකාරයන්ගේ දේශීය විදේශිය අත්දැකීම් මම එකතු කරන්නේ එම නිර්මාණ කාර්යය සඳහා. එවිට පර්යේෂණාත්මකව එහි කතාව ගොඩනගමින් අනෙක් පැත්තෙන් ලංකාවේ තිබෙන සම්ප්‍රදායික හා නූතන ඥානය එකතු කරමින් තමයි මෙම නිර්මාණය කරන්නේ. මම හිතන්නේ එම හේතුව නිසාත් මම නාට්‍යකරුවෙකු වෙන්නේ නැහැ. මොකද මම නාට්‍ය දෙකයි දැනට කරලා තියෙන්නේ. අනෙක් අතට නාට්‍යකරුවෙකු වීමේ සතුටක් මට මේ සමාජය තුළ ලබන්න බැහැ. මොකද සරච්චන්ද්‍රලාගෙන්, සුගතපාල සිල්වා, සයිමන් නවගත්තේගම, දයානන්ද ගුණවර්ධනලාගෙන් මෙපිටට මේ රටේ එහෙම පළල් නාට්‍ය දෘෂ්ටියක් සහිතව නාට්‍යකලාවේ නිරතවිමක් මට ගවේෂණය වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපි පර්යේෂණ සිදුකළ යුතුයි. නාට්‍යකරුවෙකු වීම තුළ කරන්නට තිබෙන දේවල් සීමිත වෙනවා. නාට්‍යකරුවෙකු වෙලා මොනයම් හෝ දෙයක් කරනවා. නමුත් නාට්‍යකරුවෙකු නොවෙනවා කියන තැන හිඳගෙන මම ඒ දිහා බලනකොට මට ගොඩක් දේවල් අලුතින් හිතන්න පුළුවන් කියලයි මම හිතන්නේ.




මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවී ඇති වේදිකා නාට්‍ය නිර්මාණයන් සමඟ ඔබගේ නාට්‍ය වෙනස් අත්දැකීම් ප්‍රේක්ෂකයාට සමීප කරවනවා. විදේශීය වේදිකාව සහ දේශීය වේදිකාව සැසඳීමේදී දේශීය වේදිකාව කවරාකාරයේ තත්ත්වයක්ද අත්පත් කොටගෙන තිබෙන්නේ?

සාමාන්‍යයෙන් ලංකාවේ නාට්‍ය පාඨමාලාවන් ගත්තත් හඳුන්වන්නේ (Drama and Theater) ලෙසින්. ලංකාවේ  Drama තියනවා. හැබැයි Theater නැහැ. ලංකාවේ රංගශාලා නැතිකම, එහෙමත් නැත්නම් හොඳ රංගශාලා හැදුනේ නැතිකම ලංකාවේ දීර්ඝකාලීන ගැටළුවයි. එය අපි දීර්ඝකාලීනව අත්දකිනවා. හොඳ වේදිකාවක් ලෙස දැනට තිබෙන්නේ ලයනල් වෙන්ට් පමණයි. අනෙක් රංගශාලා නියමිත ප්‍රමිතීන්ගෙන් නිර්මාණය වී නැහැ. ඕනෑම දෙයකට ලයනල් වෙන්ට් ප්‍රමාණවත් වන්නේත් නැහැ. ලංකාවේ අනෙක් නගර ගත්තත් එහෙමයි. ජාත්‍යන්තර වශයෙන් අපගේ අසමානකම ආරම්භ වන්නෙම එතැනිනි. අනෙක් පසින් අපට තිබෙන්නේ ජංගම වේදිකාවක්. තැන තැන රැගෙන යන්න කරනු ලබන සම්ප්‍රදායික නාට්‍යකලාවෙන් පැමිණි නාට්‍ය විදියක්. මම හිතන්නේ එය ඉන්දියානු අභාෂයෙන් ලද්දක්. නමුත් ලෝකයේ දියුණු නාට්‍ය කලාව තැන තැන ගෙනයන්නේ නැහැ. වේදිකාව ඒ සඳහා සකසා තිබෙනවා. ඇතැම්විට එකම නාට්‍ය ජිවිත කාලය පුරාවටම පෙන්වන්නේ එකම වේදිකාවක. දිනපතා වේදිකාගත කරනවා වසර ගණන්. එම සංස්කෘතිය වෙනමම යමක්. මට තිබෙන්නේ ලංකාවේ නාට්‍ය පිලිබඳ ගැටළුව නෙමෙයි. රංගශාලා පිලිබඳ ගැටළුව. මගේ කාරණාව, මගේ තර්කය කොහොමද වේදිකාව මෙතෙක් වින්දනය කළ ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් වින්දනය කරන්නේ යන්න. උදාහරණයක් විදියට සරච්චන්ද්‍රයන් මනමේ, සිංහබාහු පෙන්නුවේ වලක. එහිදී ආලෝකකරණය හෝ පසුතල දර්ශන පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් එතනින් මෙහාට මේ පිලිබඳ අධ්‍යයනය කරන යම් කොටසක් බිහිවෙනවා. 1956 න් පසුව බර්ටෝල් බ්‍රේච්ට් ප්‍රමුඛ නාට්‍යකරුවන් හතරැස් රාමු වේදිකාව ඉතාම ප්‍රබලව පර්යේෂණාත්මකව භාවිතා කරනවා. එමනිසා වේදිකාවේ නව වෙනසක් දැකිය යුතුයි. ලංකාවේ කළ යුත්තේ එයයි. ලෝකයේ නාට්‍යවේදය තිබෙන්නේ එතැනයි. මම කරන්නේ ජාත්‍යන්තරයට අපට යන්නට පුළුවන් මාවත සැකසීම. නෙලුම් පොකුණ මම තෝරාගන්නෙත් ඒකයි. නෙලුම් පොකුණ හදලා මේ ගැන විවේචනාත්මකව බලනවාද, එහි නාට්‍ය කරන්න බැහැ කියලා කියනවද ආදී කරුණු මට ඒ තරම් වැදගත් නැහැ. මම සිතා බැලුවේ ලැබිලා තියන එක්තරා ආකාරයක සුපිරි තාක්ෂණයක් සහිත වේදිකාවක් අපි කොහොමද දැනට භාවිතා කරන්නේ කියන එක. භාවිතා කිරීමයි වඩාත් වැදගත්. මම ඒ අභියෝගයයි භාර ගත්තේ.



මහාසුපින කියන්නේ විශාල සිහිනයක්. ඒ ගැන විස්තර කරන්න.


අතීතයේදී නම් සිහිනයෙන් අනාගතය කිව්වේ. සිහින පෙනුනාම ඒවා ශාස්ත්‍රානුකූලව විග්‍රහ කිරීම මුළු ලෝකය පුරාම ඉතා ඈත අතීතයේ සිට භාවිත වූ ක්‍රමවේදයක්. ඇතැම් රටවල අදත් මේවා තදින් විශ්වාස කරනවා. එය එක් කාරණයක්. අනෙක් කාරණය තමයි මෙම මහාසුපින නාට්‍ය සඳහා පදනම් වූ කෝසල සිහිනය තිබෙන්නේ ජාතක පොතේ. ජාතක පොත ආගමික කෘතියක් නෙමෙයි. ආගමික සාහිත්‍ය කෘතියක්. නිර්මාණශීලි ලියවිල්ලක් මෙහි තිබෙන්නේ. අනෙක් එක එය අතීත කතාවක්, ඓතිහාසික කතාවක් හෝ ආගමික කතාවක් ලෙස සිමා කරන්නට බැහැ. වර්තමාන සමාජයේ මිනිසා පිලිබඳ, සමාජය, දේශපාලනය, නීතිය ආදී සියළු දේ පිළිබඳ ඉතා මැනවින් සාකච්ඡා කෙරෙන ජාතක කතාවක්. ජාතක කතාවෙන් බොහෝදුරට අද පිලිබඳ කතාකරනවා යන්න මම මෙයින් දකිනවා. එම නිසාම මම එය තෝරාගන්නවා. මේ රට පමණක් නොවේ, ඉන්දියාව, බුරුමය ආදී දිළිඳු සියළු රටවල් හා ලොව බලවත් රටවල් වුවත් මෙම ජාතකයේ තිබෙන ස්වභාවය කරා තමයි අද වනවිට ගමන්කොට තිබෙන්නේ. එම නිසා එය දේශපාලනිකයි. ඒ වගේම එහි ගැඹුරු මානව සබඳතාවන් තිබෙනවා. මහාසුපිනයේ සිහින තිබෙන්නේ. චරිත නැහැ. එසේත් නැත්නම් කතාන්දරයක් නැහැ. ලබුකැට, ගල් ආදිය ඔය සිහින ඇතුලේ තිබෙන්නේ. හිවල්ලු, හරක් ආදී විවිධ දේ වලින් මෙය නිර්මාණය වන්නේ. ඒකයි මම වේදිකාවට ගෙන එන්නේ. පර්යේෂණාත්මකව මෙම කෝසල සිහින තුළ වේදිකාවට බොහෝ දේවල්  තිබෙනවා. සම්ප්‍රදායික විදියට ගත්තොත් සත්තු භාවිතයෙන් කතාවක් හදන එක අපහසුයි. නමුත් සම්ප්‍රදායික නොවන නවීන දෘෂ්ටියකින් ඒ දිහා බලනකොට මට පෙන්නේ කෝසල සිහිනය විශාල මානව පදනමක් කියලා. ඉතින් මගේ තෝරාගැනීම ඒකයි.



මහාසුපින තත්කාලීන දේශපාලන, සාමාජිය, ආර්ථික හා දේශපාලනික නිරූපනයක් ලෙස ගන්න පුළුවන්. ඒ පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?


මම ඇත්තටම පටු දේශපාලනික අර්ථයක් ගොඩනගන්නට සුදානමක් නැහැ. ඇත්තටම අපේ රටේ බොහෝ නාට්‍යවල තිබෙන්නේ දේශපාලන ප්‍රහසනය. මට එම ප්‍රහසනය එතරම් වැදගත් නැහැ. මම මේ දෙස බැලුවේ ඊට වඩා පළල් ආකාරයකින්. මේ හරහා කරන්නේ යමක් කියනවාට වඩා යමක් සිතන්න දෙන්නට ක්‍රියා කිරීමයි. කියලා යම් යම් දේ තේරුම් කරන්න පුළුවන්. නමුත් මම කියලා තේරුම් කරන්නේ නැහැ. හිතලා තේරුම් ගන්න පුළුවන් විදියට තමයි නාට්‍යයේ බොහෝ දේවල් තිබෙන්නේ. එය සමහරවිට විඳින්න, කියවාගන්න දුෂ්කර වෙන්නත් පුළුවන්. නමුත් එහෙම තමයි මම හිතන්නේ. අපට අපේ සිතන සීමාවල් පටු කරලා තිබෙන්නේ. මේ සමාජයේ සහනයකට ඉතුරු කරන්නට පුළුවන් නම් ඒ මේ වගේ දෙයක් හරහා අලුතින් සිතන්නට පුළුවන් මානසිකත්වයක් ගොඩනැගීම පමණයි. මම ඒ අත්දැකීම ගන්නේ.

මගේ පැත්තෙන් ගත්තම මෙහි දේශපාලනය වගේම මහා සමාජ අර්ථයක් තිබෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාලය සමඟ එකතුවෙන් මම මෙම නිර්මාණ කාර්යය කරන්නේ. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයාගේ සම්මත ඉගැන්වීම් ක්‍රමය ඉක්මවූ වඩාත් නිර්මාණශීලි ඉගැන්වීම් ක්‍රමයක් තුළ කොහොමද නව පන්නරයක් ලබන්නේ, අලුත් අත්දැකීම්, නිර්මාණ ශක්තින්, පෞරුෂ ශක්තින් සහ වෙනත් ආකාරයේ සමාජ අවබෝධයන්, සමාජ සහසම්බන්ධතාවයන් ආදිය ගොඩනැංවීම පිණිස කොහොමද නිර්මාණශීලිව වේදිකාව භාවිතා කරන්නේ යන්න මහා සමාජ හා දේශපාලනික කාරණාවක්. විශ්වවිද්‍යාලය තුළ අද බටහිර ඉගැන්නුම් ක්‍රමය තමයි තදින්ම කාවැදිලා තිබෙන්නේ. ලෝකයේ දියුණු ඇතැම් අධ්‍යාත්මික සබඳතා සහිත ඇතැම් රටවල ළමයාගේ සහ තරුණයාගේ අධ්‍යාපනික ශක්තින් වර්ධනය කරනු පිණිස නාට්‍ය කලාව අධ්‍යාපනික මෙවලමක් ලෙස භාවිතා කරනවා. එම දේශපාලනය තේරුම්ගත යුතුයි. අප වෙනස් වෙන්න ඕන තැන් තිබෙනවා. බොහෝ දුෂ්කර හිරවුණු මානසිකත්වයක විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය කරන්නේ. එම අධ්‍යාපනය රටට වැඩක් නැහැ. පුද්ගලයාට වැඩකුත් නැහැ. මේවා කොහොමද අතික්‍රමණය කරන්නේ?  මේ දෙස අලුතින් බලන්නේ කොහොමද? මම හිතන්නේ අඩුපාඩු සහිතව හෝ එසේ බැලීමේ පුරෝගාමී කාර්යයයක් විදියට සහ එවැනි මහා දේශපාලනයක් සහිත ප්‍රායෝගික දෙයක් විදියට තමයි මම මෙය සලකන්නේ.




මහාසුපින තුළ අන්තර් සංස්කෘතිකමය ප්‍රවේශයක් දැකගත හැකියි. ඒ පිලිබඳ විස්තර කළොත්?

මෙහි අන්තර් සංස්කෘතිකමය වශයෙන් පැති ගණනාවකින් යම් යම් දේවල් දැකගැනීමේ හැකියාව තිබෙනවා. පළමු කාරණය මෙහි සත්‍ය වශයෙන්ම සියලුම රටවල තිබෙන මානව සබඳතාවයන් එක් පැත්තකින් නිරූපණය කරන්නේ. අනෙක් පසින් මෙහිදී ගන්නා වූ දේවල් ලංකාවේද, ඉන්දියාවේද, බටහිරද, කොහේද කියන කාරණය මම සලකන්නේ නැහැ. නිශ්චිත කාල වකවානුවක් හෝ නිශ්චිත ඉතිහාසයක් ලබා දෙන්නේ නැහැ. විවිධ සමාජයේ පැරණි සහ පැරණි සංස්කෘතිය තුළ තිබුණු චරිත තිබෙනවා. හැසිරීම් තිබෙනවා. ඒ වගේම අන්තර් සංස්කෘතික ලක්ෂණ තිබෙනවා. සමහර නූතන චරිත පැරණි වගේ පෙනෙනවා. සමහර නූතන චරිත ලෙසින් දිස්වන චරිත පැරණි චරිත. මෙහි එවැනි මිශ්‍රණයක් තිබෙන්නේ. අනෙක් පැත්තෙන් භාවිතයන් ගත්තත් ලෝකයේ තිබෙන දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීමට උත්සහ කරනවා. විශේෂයෙන්ම නෙලුම් පොකුණ මෙම භාවිතයන් සහ අත්දැකීම් වෙනස් ආකාරයෙන් ගෙන එනවා. එයට හේතුව ප්‍රේක්ෂාව විඳින්න පුළුවන් ආකාරයට ජාත්‍යන්තර නිර්මාණ භාවිතයන් සමඟ යම් ආකාරයක සංස්කෘතික ගණුදෙනුවක් ඇති කිරීම.


ඔබ මහාසුපිනය හරහා උප සංස්කෘතික කණ්ඩායම් දෙකක් එක්හසු කරනවා. ඒ පිලිබඳ ඔබගේ අදහස කවරාකාරද?


සංස්කෘතික ගණුදෙනුවක් අවශ්‍යයි. මහාසුපිනය හා සම්බන්ධ පිරිසේ පවා තිබෙන්නේ සංස්කෘතික වෙනසක්. එහි සංස්කෘතීන් දෙකක් එකට මිශ්‍ර කරනවා. අකිල ධනුද්දර, සාරංග දිසාසේකර, බුද්ධදාස විතානාච්චි, ජනක රණසිංහ, මාදිනී මල්වත්ත, සුලෝචනා වීරසිංහ, නිස්සංක දිද්දෙණිය ආදී රටේ ඉන්න ප්‍රධාන නළු නිලියන් සමඟ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සම්බන්ද කොට තිබෙනවා. මම හිතන්නේ පළමු වතාවටයි මේ තරම් පුළුල්ව දෙපාර්ශවය අතර ගනුදෙණුවක් ඇති කළේ. මෙහි රංග වින්‍යාස රවිබන්දු විද්‍යාපතින් හා සංගීතයෙන් දායකත්වය සපයන්නේ තරුපති මුණසිංහ. මේ රටේ කලාව හා සම්බන්ධව සංස්කෘතිකව හුවමාරුවන නව ඥාන ධාරාවන් උත්පාදනය කරන අවස්ථාවක් විදියටයි මම මෙය දකින්නේ. මෙය එක් පසකින් සංස්කෘතික කාර්යයක්. ඒ වගේම සංස්කෘතිය නවීකරණය කිරීමක්  මෙන්ම ඒ සඳහා උවමනාවක් සහිත ක්‍රියාවක්.



මෙම කතාබහේ අවසානයේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට ඔබට කියන්න තිබෙන්නේ මොනවාද?

ලංකාවේ නාට්‍ය කිරීම ඒ තරම් පහසු නැහැ. මෙය ජාතක පොතේ එන කතාවක් ඔස්සේ ගොඩනැංවූවා වුවත් සාම්ප්‍රදායික කතාවක් නොවෙයි. සමාජමය වශයෙන් වැදගත්වන නව අර්ථකථනයක් සහිත සාහිත්‍ය කාර්යයක් විදියටයි මම දකින්නේ. අපේ නාට්‍ය සංස්කෘතිය දෙස බලන්නේ නැතුව දිගු ගමනක් යන්න අපට අපහසුයි. මම මේ අත්හදාබැලීම කරන්නේ මේ සමාජයේ තිබෙන සම්මත නාට්‍ය ආකාරයට යම් ආකාරයක අභියෝගයක් හෝ යම් ආකාරයක දැක්මක් එක්හසු කරන්නේ කොහොමද යන්න පිළිබඳව සලකා බලමින්. මෙය එක්තරා ආකාරයක අභියෝගයක්. විශාල පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙනවා. එය විශාල පිරිවැයක්. එය පහසු කාර්යයක් නොවෙයි. ඒ නිසාම නැවත වරක් මෙය ප්‍රේක්ෂකයා හමුවට ගෙන යා හැකිද යන අභියෝගය අප සතුයි. එම නිසා ලාංකීය වේදිකා නාට්‍ය කලාවේ වෙනසක් සිදුවන මේ මොහොතේ එළඹෙන යම් දිනෙක  මහාසුපින ඔබ වෙනුවෙන් වේදිකාගත වුවහොත් ඔබගේ සහභාගීත්වය ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.

සාකච්ඡා කළේ : තිවංකා දයානන්ද