Thursday, 20 September 2018

කසළ අකුසලයට යටපත් නොවන්නට


කසළ අකුසලයට යටපත් නොවන්නට







සංවර්ධනය යනුවෙන් බරසාර වාද විවාද රැසකි. ඇතැමුන් සිතන්නේ සංවර්ධනය යනු සුවිශාල ගොඩනැගිලිමහා මාර්ග විශාල පාලම් ආදී වූ භෞතිකත්වයකි. නමුත් අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රකාශ කළ යුත්තේ සංවර්ධනය භෞතිකව මෙන්ම ආකල්පයන්ගේද සමාන්තරව සිදුවියයුතු බවයි.

ශ්‍රී ලංකාව වැනි රටක් තුළ බොහෝ දෑ මහා විශාල ගැටළුන්ය. නමුත් අප විසඳුම් කරා යා යුත්තේ සරල බැවින් සංකිර්ණත්වය කරාය. 2017 වසරේ අලුත් අවුරුදු සිරිය වසා ගත්තේ කුණු කන්දකි. නමුත් දැන් අප සියල්ලන්ටම එය අමතකය. යන්තමින් හෝ මතකයක් වුවද කතා කිරීමට ඊටත් එහා බරසාර මාතෘකා රැසකි. මා යෝජනා කරන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වෙනසක් පිළිබඳවය.


පෞද්ගලික ප්‍රවාහන උපක්‍රම වලට වඩා අප රට තුළ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය සාපේක්ෂව ඉහළය. ශ්‍රී ලංකාව නම් වන අප රටෙහි ජනප්‍රිය පොදු ප්‍රවාහන මාධ්‍යන් වන්නේ දුම්රිය හා බස් සේවාවන්ය. ඒ අතුරින් සාපේක්ෂව ඉහළ ආවරණයක් සහිත බස් රථ සේවාව සඳහා මගීන්ද සුලබය. 

බසයක් එනතුරු කොයි කව්රුත් රැඳී සිටින්නේ බස්නැවතුම්පොළකයි. විධිමත්ව සැලසුම් කළ ප්‍රධාන බස් නැවතුම්පොළවල් හා අනු බස් නැවතුම්පොළවලට සාපේක්ෂව අවිධිමත් බස් නැවතුම්පොළවල් රැසකි. මේවාට යන එන බහුතරයක් මගීන්ගේද ජීවිතත් ඒ ආකාරයෙනි. බසයක් එනතුරු නැවතුමක බලා සිටිනා මගීන් බොහෝ දෙනෙකු කෙටි ආහාරයක් තම අතෙහි දරා සිටීම සුලබ දසුනකි.රටකජු මල්ලක් ප්‍රධාන වන අතර පාසලක් අසල නම් චොකලට්, ටොෆි, ටිපිටිප් ආදී වූ ආහාර වර්ග රැසක් දැකිය හැකිය.

අවධානයට ගත යුතු කරුණ නම් මේ විවිධ ආහාර වල ක්ෂණික රසයන් විඳින මොවුන් ඒවා එතු කඩදාසි, පොලිතින් කවර ආදියට සිදු කරන්නේ කවරක්ද යන්නයි. තැන තැන කුණු කසල බැහැර කිරීම නුසුදුසු ක්‍රියාවක්ය යන්න අවබෝධයෙන් යුතුව කටයුතු කරන ප්‍රජාවක් අල්පතරය. එහෙයින් ඔවුන් කරන්නේ සිටිනා තැනම කසල බිම ඇද, ඇඳුමේ අත පිසදා ගැනීම වැනි අපූරු නොවූ ක්‍රියාවකි. මෙවැනි කසළ කැබැල්ලක් බැගින් දහස් දෙනෙකු අතහැරියහොත් කසල දහසකි. එය රට තුළ මතු දා බිහිකරනුයේ කසළ කඳු පන්ති ගණනිනි.

කුඩා කල සිට අප අසන්නේ මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසයි. අදට වුව එහි වෙනසක් නොමැත. මතුවට හෝ එහි වෙනසක් දැකිය යුතුනම් ඒ සඳහා වෙනස් වියයුතු කාලය එළඹ තිබේ. පළාත් පාලන ආයතන සඳහා මෙහි වගකීම නිවැරදිව පවරා දිය යුතුය. සෑම බස් නැවතුම්පොළකටම ලොකු කුඩා බේදයකින් තොරව කසළ බඳුන් ස්ථාපිත කිරීම අනිවාර්යය කළ යුතුය. එහිදී දිරන හා නොදිරන ලෙස වර්ගීකරණය ප්‍රතිචක්‍රීකරණයට පහසුවකි. කසළ බඳුන් තුළ එක්රැස් වන කසළ නිවැරදි ක්‍රමවේදයක් තුළ ප්‍රතිචක්‍රීකරණය කොට පරිසර හිතකාමී පුනර් භාවිතයක් සඳහා දිරිගැන්විය යුතුය. ලංකාව තුළ මේ සඳහා විවිධාකාරී සාධනීය විකල්පයන් සහිත පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් පිළිබඳව කිහිප වරකදීම ජනමාධ්‍ය හරහා වාර්තා විය. ඔවුන්ගේ දැනුම කොල්ලකෑමෙන් තොරව එම දැනුම නිවැරදි විද්‍යාත්මක හා තාක්ෂණික  ක්‍රමවේදයක් ඔස්සේ සාර්ථක ලෙස රටෙහි කසළ ගැටළුව සඳහා පිළියම් ලෙස යොදාගත යුත්තේ තමාගේ මඩිය ගැන සිතා නොව සමස්ථ ජාතියක හෙට දවස හා පරිසරයේ පැවැත්ම ගැන සිතාය.

භෞතිකව කෙතරම් විපර්යාසයන් සිදුකළද මිනිස් චින්තනය හා ආකල්පයන් වෙනස් නොවෙන තාක් මෙම ගැටළුව අරභයා නිසි විසඳුමක් වෙත යා නොහැක. පෙරපාසල් යන දරුවාගේ සිට මහල්ලා දක්වාම ස්වකිය පරිසරය රැකගැනීමේ වටිනාකම අවධාරණ කොටගෙන පැවතීම වැදගත්ය. පොදු මහජනයා තුළ සිය භාවිතයෙන් ඉවතට යන කසළ නිවැරදිව බැහැර කිරීමට මෙන්ම ඒවා කසළ බඳුන් තුළට පමණක් දැමීමට දිරිමත් කළ යුතුය. මහමග පුරා, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන ආදී පොදු ස්ථාන අපිරිසිදු කිරීම අවමන් සහගත ක්‍රියාවක් ලෙසට සමාජ කථිකාවක් නිර්මාණය කළ යුතුය. තැන තැන කසල බැහැර කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත්, පරිසරය රැකගැනීමේ අගයත් දෙමාපියන් විසින් දරුවන්ට ප්‍රාථමික සමාජානුයෝජන අවධියේදීම කියා දෙන්නා වූ සංස්කෘතියක් නිර්මාණය කළ යුතුය. ඒ හරහා නිසි ක්‍රමවේදයක් තුළ කසළ බැහැර කිරීම පුරුද්දක් බවට පත්කොට ස්වයං වාරණයක් හරහා එකිනෙකා තමන් විසින්ම ලොකු කුඩා භේදයකින් තොරව පරිසරය රකින්නන් බවට පත්කළ යුතුය. මතු දිනෙක කසළ කඳු නාය යෑමෙන් මරණයට කිසිවෙකුත් ලං නොවීමට නම් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ තිබේ.

තිවංකා දයානන්ද