Saturday, 3 March 2018

ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ.. වෙනස් වෙන්නේ මිනිස්සු..

ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ..
වෙනස් වෙන්නේ මිනිස්සු..


අද මම කියන්න යන්නේ  ටිකක් අමුතු විදියේ කතාවක්. මේ ලෝකයේ ආදරය කියන්නේ  මොකක්ද කියලා හරියට හඳුනගන්න උත්සහ දරන බොහොමයක් දෙනෙක් තමන්ගේ  ජිවිතය තුළ යථාර්තයක් කරගන්න දෙයක්..

කොයි වෙලාවේ කා ගැන, කොහොම ආදරයක් ඇති වෙනවද කියන එක සම්බන්ධයෙන් නම්  පූර්ව නිගමන දෙන්න අමාරුයි. මෙතන  මම ස්ත්‍රියක් හා පුරුෂයෙක්  අතර ඇති වන බැඳීම සිමාකාරී සාධකය විදියට ගන්නවා. සමහරවිට ඔයා බොහොම  අවංකව එයාට ආදරය කළත් එයා ඒක දැනගෙන හිටියා උනත් එයා ඔයාට නිසි ගෞරවය දීලා නැති වෙන්න පුළුවන්. ඒ සමහරවිට අවංකවම අසරණකමට වෙන්න පුළුවන්.. එහෙමත් නැත්නම්  ඔයා ගැන එයාට කිසිම වටිනාකමක්, හැඟීමක් නැති නිසා වෙන්නත් පුළුවන්.


ඒ කොහොම උනත් මම කතාකරන්නේ  ඔයාගේ  පැත්තෙන්. අපිට තව කෙනෙක්ගේ ස්වරූපයවත් පැවැත්මවත් වෙනස්  කරන්න කිසිම වෙහෙසක්  දරන්න ඕන නැහැ. හැම පුද්ගලයෙක්ටම  තමන්ට අනනය වූ ස්වරූපයක් සහ ස්වාධීනත්වයක් තියනවා. ආදරෙයි නම් මලක් නෙලාගන්න ඒපා කියලා ඕෂෝ කියන්නෙත්  මම කියන්න යන කාරණයම තමයි. මලක්  ලස්සනට පිපිලා තියෙද්දී ඒ මලට ආශා කරන කෙනෙක් නිරන්තරයෙන්ම  කරන්නේ  ඒ මල  කඩා ගන්න උත්සහ කරන එක. නමුත් ඒ මලේ  ඒ  ලස්සන ඒ විදියටම දකින්න කැමති, ඒ මලට ආදරය කරන කෙනෙක්  නිරන්තරයෙන්ම  උත්සහ දරන්නේ ඒ  මල  ගහේ තියෙද්දීම ඒ ලස්සන විඳින්න. ආදරය සහ ආශාව කියන්නේ බොහොම වෙනස්ව, ගොඩක් දුර තියන හැඟීම් දෙකක් කියලා තේරුම් යන්නේ ඔතනදී.  ආශා කළොත් මල නැති වෙනවා. ආදරය කළොත් මල, මල විදියටම පරිස්සම් වෙනවා.

ආදරෙයි නම් ඒ   ආදරය හැමදාටම රැකගන්න උත්සහ කරන්න. කවදාහරි දවසක් එයි ඒ ආදරය හැබෑවටම  එයාට තේරුම් යන. ඒ දවස කවදාවත්ම උදා වෙන්නේ  නැති වෙන්නත් පුළුවන්. ජීවිතය මොන විදියට විසඳෙනවද  කියලා අපිට පූර්ව නිගමනවලට එන්න බැහැ. නමුත් අපිට අපේ  ජීවිත යම්තාක්  දුරකට පාලනය  කරමින් පවත්වාගෙන  යන්න පුළුවන්. ආදරය හිත ඇතුලේ  එහෙම්මම තියාගන්න. ඔයා ඔයාගේ  අරමුණු වලට ගමන් කරලා ජීවිතය සාර්ථක කරගන්න උත්සහ ගන්න. කාර්යබහුල වෙන්න. ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මිනිස්සු. ඒ  අවබෝධය තුළ ජිවත්වෙන්න. තමන්ට නොලැබුණු අනුන්ට ලැබුණු දේවල් වලට වෛර කරන්න එපා.

ඔයා ආදරය කරන කෙනාව ඔයාට ඕන විදියට වෙනස්  කරන්න යන්න එපා. එයාට එයා වෙන්න ඉඩ දීලා ඔයා, ඔයා විදියට රැකෙන්න . ඔයා ඔයාගේ  ස්වාධීනත්වය රැකගන්න කටයුතු කරනවා වගේම එයාගේ ස්වාධීනත්වයට ගරුකරන්න. ආදරය හිත ඇතුලේ බොහොම පරිස්සමට තියාගෙන  නිදහස් වෙන්න. ඒ  නිදහස තුළ ජීවත්වෙන්න උත්සහ  දරන්න. අන්න එදාට ඔයාට ජිවත් වෙනවා කියලා දැනේවි.

තිවංකා දයානන්ද 

No comments: