Saturday, 26 October 2019



ගවේෂණාත්මක වාර්තාකරණය






ගවේශනාත්මක වාර්තාකරණය යනු කිසියම් සිද්ධියක්, අවස්ථාවක් හෝ පුද්ගලයෙකු පිලිබඳ ගැඹුරින් සොයා බලා වාර්තා කිරීමයි. “හෙළිදරව් සාහිත්‍යය” වශයෙන් ද හඳුන්වයි. ප්‍රවෘත්තියක් යනු මතුපිට සිදුවීමකි. එහිදී ඇසින් දකින, කනින් ඇසෙන දෙයක් පිළිබඳ අවධානය යොමුකරයි. සාමාන්‍ය පුවත් වාර්තාකරණයකදී
  • What - කුමක්ද
  • When - කවදාද?
  • Where - කොහෙද?
  • Who - කොහොමද?
  • Why - කුමකටද?
  • How - කෙසේද?

යන්න පිලිබඳව අවධානය සමව යොමු කරනු ලබන අතර ගවේශනාත්මක වාර්තාකරණයේ දී මූලික අවධානය යොමු කරනු ලබන්නේ “How” නැතහොත් “කෙසේද” යන්න පිළිබඳවයි.

Sunday, 25 August 2019




මාධ්‍ය පර්යේෂණ




ඉංග්‍රීසී භාෂාවෙන් “Research” යනුවෙන් හැඳින්වෙන “පර්යේෂණ” හී “Re” යන්නෙන් “නැවත” යන අදහසත් “Search” යන්නෙන් “පරික්ෂා කිරීම” යන අදහසත් ගම්‍ය වේ. ඒ අනුව “Research” නැතහොත් “පර්යේෂණ” යන්නෙහී වචන අර්ථය වන්නේ නැවත පරික්ෂා කිරීම යන්නයි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රකාශ කරන්නේ “අභිමත මාතෘකාවක් හෝ විෂය පථයක් තෝරාගෙන, ඊට අදාළ දත්ත ඒකරාශී කොටගෙන, ඒවා විශ්ලේෂණය කොට, නිගමන සහ නිරීක්ෂණ සහේතුකව පහදාදීම පර්යේෂණයක ප්‍රධාන අරමුණ වේ” යනුවෙනි. Best සහ Khan පෙන්වා දෙන්නේ “වඩාත් විධිමත් වූත්, ක්‍රමානුකූල වූත්, පරිශ්‍රමයකින් කරනු ලබන්නා වූත්, විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇසුරෙන් විශ්ලේෂණයට භාජනය වන්නාවූත්, ක්‍රියාවලියක් ලෙස පර්යේෂණ කාර්යය සැලකිය හැකිය” යන්නයි. ඒ අනුව පර්යේෂණයක ප්‍රධාන අරමුණ සහ පර්යේෂණ කාර්යය පිලිබඳ පැහැදිලිය.


Friday, 2 August 2019

වසත් කල..




ජීවිතය කියලා කියන්නේ දිග ගමනක්.. ඒ ගමන යන අතර තුර අපිට එක එක විදියේ බාධක, කරදර, ගල් පහරවල්, නින්දා අපහාස වගේම අගයකිරීම්, ප්‍රශංසා වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ හැම දුකක් සතුටක්ම අවබෝධයෙන් දරාගෙන තමන්ගේ ගමන යන්න පුළුවන් නම් තමයි නියම ජයග්‍රහණය..මතක තියාගන්න ඕන වැදගත්ම දේ මේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියන එක..

අපි හැමෝගෙම ජිවිත වලට ආව ගිය අඳුරු කාලවල් අනන්තවත් ඇති..ඒ අඳුරු මතක අපේ හිත් වල ඉතුරු කරගන්න ඕන.. ඒ ජීවිතයට පාර කියන්න විතරයි..උදා වෙන වසන්තය කාටවත් අතින් අල්ලලා නතර කරන්නත් බැහැ..දුක වගේම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටකුත් අපේ ජිවිත වල තියනවා කියලා එදාට තේරෙයි..


ඉරක් පායනවා සත්තයි..එතකල් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන්න..අවබෝධයෙන් ඉන්න..

-කඩුවි-


පන්හිඳ තෙමා..


Wednesday, 24 July 2019

“රැස් විහිදෙන සමනලියකගෙන්” ගීතය තුළින් නිරූපිත ජනප්‍රිය සංස්කෘතිය



“රැස් විහිදෙන සමනලියකගෙන්” ගීතය තුළින් නිරූපිත ජනප්‍රිය සංස්කෘතිය




“රැස් විහිදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුනාම..
රැකගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම..

සියැසින් දුටු සිහිනයකින් රහසක් ගෙන එන්නම්..
හැබැහින් විඳගන්න..
රහසින් ගෑ මුදු සුවඳින් හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වන්න..

සුසුමින් හුන්මිටි තබමින් තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න..
ගලනා දා බිඳු පිසිමින් වත්සුණු තවරන්නම්
ඉරණම පෙරලන්න..”



BnS කණ්ඩායම 2007 වසරේදී නිර්මාණය කළ ගීතයක් වන මෙම ගීතය එම වසරේ ආදරවන්තයින්ගේ දිනය නිමිති කොටගෙන එළිදැක්විය. භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන්ගේ එතෙක් බිහිව තිබූ ගීත වලට සාපේක්ෂව සංකල්පීයමය සහ තාක්ෂණිකමය වශයෙන් වෙනස්කම් දැක්වූ ගීතයක් ලෙස දැක්විය හැක.

2007 වසරේ ශ්‍රී ලාංකීය ගීත කලාව තුළ නව මානයක් සනිටුහන් කළ මෙම ගීතය තුලින් ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ බොහොමයක් සමාජගත කිරීමට සමත්විය. එමෙන්ම මෙම ගීතයේ අන්තර්ගතය පරික්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ ඒ තුළ ජනප්‍රිය සංස්කෘතිමය ලක්ෂණ බොහොමයක් නිරූපණය වන බවයි. ගීතයේ පද අරුත් සමඟ සැසඳීමේදී අපූරු රූප රචනාමය උපක්‍රමයක් අනුගමනය කොට තිබේ.

මහජන සම්බන්ධතා ඉතිහාසය


මහජන සම්බන්ධතා ඉතිහාසය


වර්තමානයේ සෑම ක්ෂේත්‍රයක් තුළම ප්‍රමුඛ අවධානයක් යොමුවන කරුණක් ලෙස  “මහජන සම්බන්ධතා” හැඳින්විය හැක. මහජන සම්බන්ධතා පිලිබඳ අවධානය යොමු කිරීමේදී එයට ඉතිහාසයක් නැති බවට මතයකි. එසේ ප්‍රකාශ කරන්නන් තර්ක කරන්නේ මහජන සම්බන්ධතා නවීන කාර්මික සමාජය තුළ හැදී වැඩුණු බවයි. නමුත් මානව සමාජයේ අතීත යුගවල පවා දියුණු ශිෂ්ඨාචාර පැවතියෙන් මහජන සම්බන්ධතා ඉතිහාසය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භක අවධීන් තෙක් දිවයන බව කිව හැක.

ඕනෑම විෂයක ඉතිහාසය හැදෑරීම එහි වර්තමාන ස්වරූපය වර්ධනය පිණිස හේතු වේ. නමුත් විෂයක් ලෙසින් වර්තමානයේ අධ්‍යයනය පිණිස අවධානය යොමුව ඇති මහජන සම්බන්ධතා ඉතිහාසය පිලිබඳ අතීත පරීක්ෂාවක් සිදු වී නොමැති තරම්ය.

Wednesday, 17 July 2019

විමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය "සුළඟ ගිනි අරන්" චිත්‍රපටයට විශේෂිතව



විමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය "සුළඟ ගිනි අරන්" චිත්‍රපටයට විශේෂිතව



ලාංකේය සිනමාවට රැඩිකල් අනන්‍යතාවයක් හා දාර්ශනික කතිකාවන් නිර්මාණය කිරීම සඳහා විශාල අවකාශයක් විවර කරදුන් සිනමාකරුවෙකු ලෙස විමුක්ති ජයසුන්දර හඳුන්වාදිය හැකිය. මෙරට සිනමාකරුවෙකු විසින් ජාත්‍යන්තරව හිමිකරගත් ඉහළම සිනමා සම්මානය ලෙසින් හැඳින්විය හැකි ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙලේ “කැමරාදෝ සිනමා සම්මානය” ඔහුගේ “සුළඟ එනු පිණිස” චිත්‍රපටය හිමිකරගත් අතර 2005 වසරේ නිර්මාණය වූ එය විමුක්තිගේ ප්‍රථම සිනමාපටය වීම විශේෂත්වයයි. ඉන් අනතුරුව ඔහු විසින් “අහසින් වැටෙයි” සිනාමාපටය 2009 වසරේදී නිර්මාණය කෙරීය. 2011 දී “චත්‍රක් හෙවත් හතු” සිනමාපටය නිර්මාණය කළ අතර ප්‍රථම වරට කාන් චිත්‍රපට උළෙලේ ඉන්දියාව නියෝජනය කළ චිත්‍රපටය වුයේද මෙයයි. විමුක්තිගේ සිව්වැනි සිනමා නිර්මාණය වූයේ “සුළඟ ගිනි අරන්” සිනමාපටයයි.

සුළඟ චලනයක් නම් ඒ තුළින් පවතින පරිසරය හෝ පවතින තත්ත්වයන් වෙනස් කළ හැකිය. ඒ අරුතින් සුළඟක් නොමැති බිමකට සුළඟක් පැමිණිය යුතුයැයි අදහසින් “සුළඟ එනු පිණිස” නම යොදාගත් බව විමුක්තිගේ අදහසයි. යුද්ධයේ සෙවනැලි ජීවිතයේ ලොකු කුඩා සෑම පෙදෙසක් පුරාම පැතිරෙන ආකාරයත්, යුධ සෙබළුන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් සිය පැවැත්ම උදෙසාත් අවශ්‍යතාවයන් උදෙසාත් ක්‍රියාත්මක වීම ඔවුන් පිළිබඳව සමාජය තුළ ගොඩනැංවී ඇති සම්ප්‍රදායික දෘෂ්ටිකෝණයට පටහැනි වියහැකි බව ඉඟි කෙරෙන සිනමා පටයක් ලෙසින් 2005 වසරේදී නිර්මාණය වූ “සුළඟ එනු පිණිස” හඳුන්වාදිය හැකිය. ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවද යුද්ධය පිළිබඳව අධ්‍යක්ෂවරයා තුළ වූ දෘෂ්ටිය පටු සීමාවක වූ බවට මෙරට බහුතර විචාරකයන්ගේ අදහසයි.


Friday, 5 July 2019

සේතු මන්දිර


සේතු මන්දිර






සුපුරුදු උණුසුම හවඩියාට දැනුනේ නොවේ. ඔහු සිතට තව තවත් දිරි ගන්නට විය. පිංචිනා දෙවැනි වරටත් ඔහුගේ සිත පිය ස්නේහයෙන් පුරවන්නට සැරසෙමින් සිය මව කරා ගොස් දින දෙකකි. කින්නර යුවලක් වූ හවඩියාත් පිංචිනාත් බොහෝ ආලයෙන් වෙලී කුටුම්බය රැකුමට වෙහෙසුනේ උරුමයෙන් ලද වියන කලාවෙන් නේක විසිතුරු මවමිනි. දරුවන් වැදීමට සිරිත් පරිදි වෙහෙසුණු කින්නර බිරියන් කුස යහනට සිව්මස් එළැඹුණු දා මව් සෙවනට යන කින්නර සිරිතට හවඩියාට හෝ පිංචිනාට එරෙහි වීමට නොහැක. පුංචා කොලු උන්ගේ කුළුඳුල් දරු තවමත් සීතලට ගුලි වී සුවසේ නිදන්නේය. හවඩියා නැඟී සිටියේ වියූ පැදුරු අධිකාරම් වලව්ව වෙත ගෙනයෑමට හිමිදිරියේ පිටත් විය යුතු බැවිනි. ගමනට රැයක් පහන් වනබව හවඩියා අත්දැකීමෙන් දැන උන්නේය. මතු දෝතට වඩිනා අමුත්තා පිළිගැනීමට ඔහුගේ සිතට අලුත් පණක් ලැබුණාක් මෙන් විය.

Wednesday, 29 May 2019

නිදහසේ යන්න - වදයක් නොවන්න


නිදහසේ යන්න - වදයක් නොවන්න




සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් කාලයක් පුරා ලේබලයක් අලවාගෙන සිටින ශ්‍රී ලංකාව තුළ දෛනික ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාගැනීම පිණිස භාවිතයට ගැනෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ලෙස පොදු ප්‍රවාහන සේවය හඳුන්වා දියහැකිය. එහිදී බස් රථ සහ දුම්රිය සේවාවන් විශේෂ වේ. පර්යේෂණ මඟින් තහවුරු කොට ඇත්තේ පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් පොදු ප්‍රවාහන සේවා භාවිතය පිණිස වැඩි අවකාශයක් සහිත බවයි. ගෘහ ජිවිතයේ වැඩි වගකීම් ප්‍රමාණයක් සහිත කාන්තාවන් වඩාත් ලාබදායි ප්‍රවාහන උපක්‍රමයක් ලෙස භාවිතයට ගැනෙන පොදු ප්‍රවාහන සේවා තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවි අසමානතාවක් නිරූපණය කරණ ප්‍රධාන අවස්ථාවක් ලෙසත් ප්‍රකාශ කළ හැක. එය ස්ත්‍රීයගේ සමාජ ජීවිතය තවදුරටත් හකුළුවාලීමකි. මෙය ලංකාවට පමණක්ම පොදු ධර්මතාවයක් නොවන අතර ලොව පුරා දැකිය හැකි ප්‍රවණතාවයකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාවට අනුව කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය. කිසියම් පුද්ගලයෙකුට මානසිකව හෝ ශාරීරිකව කරන හිංසනයක් ඒ අනුව වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය කිරීමක් සේ දැක්විය හැකිය. එම ශාරීරික හෝ මානසික හිංසනය ලිංගිකමය වශයෙන් සිදුවන හිංසනයක් වියහැක. 1995 අංක 22 දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටසට අනුව ලිංගික හිංසනය යනු දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම හිංසනය ලිංගික ස්වරූපයෙන් කෙරෙන පහරදීම්, සාපරාදී බලය යෙදවීම් මෙන්ම හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කිරීමට හේතුවන වචන හෝ ක්‍රියාවන් ලෙස දැක්විය හැකිය. පොදු ප්‍රවාහන මාධ්‍යන් භාවිතයට ගන්නා පුරුෂයන් ස්ත්‍රීන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව හෝ පොදු ප්‍රවාහන මාධ්‍යන් භාවිතයට ගන්නා ස්ත්‍රීන් තමා විඳිනා පිළිකුල් අත්දැකීම ප්‍රතික්ෂේප කිරීමට හා එයට විරෝධය දැක්වීම බියට පත්විය යුතු කරුණක් නොවන බව සිතන්නේ කලාතුරකිනි.